සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

විහාර ඉදිකිරීම ආරම්භ වූ හැටි...

හොරණ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්‌ත්‍රපති 
පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

බුදුරජාණන් වහන්සේ පහළ වූ මුල් කාලයෙහි භික්‌ෂුන් වහන්සේලාට වාසස්‌ථාන තිබුණේ නැත. බුදු සසුනෙහි පැවිදිව සසර දුක නැති කිරීමම මූලික අභිප්‍රාය වූයෙන් ආරාම, සෙනසුන් පිළිබඳ එතරම් තැකීමක්‌ නොවීය. ඒ සඳහා අවසරය ලැබෙන්නේ පසුකාලීනවය.

චුල්ලවග්ග පාලියේ සේනාසනඛන්ධයකට අනුව විහාරයන්හි ආරම්භය මෙසේ සිදුවිය. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට නුදුරු කලන්දක නිවාපයෙහි වැඩවාසය කරන කල භික්‌ෂුන්ට සෙනසුන් නොපනවන ලද්දේ උන්වහන්සේලා රුක්‌මුල්හිද, පර්වතයෙහිද, කඳුපාමුලද ගල්ලෙන්හිද, සොහොනෙහිද, වනපෙතෙහිද, එළිමහන් පිදුරු ගොඩෙහිද යන ස්‌ථානයන්හි වෙසෙති. තවද උන්වහන්සේලා බිමට හෙලූ ඇස්‌ ඇතිව දුටුවන් පහදවන සන්සුන් ඉරියව්වෙන් එම ස්‌ථානවලින් නික්‌මෙති.

මේ කාලයෙහි දිනක රජගහනුවර ප්‍රධාන සිටුතුමා උයනට යමින් සිටියේය. ඔහු සංවර වූ සංසුන් ඉරියව්වලින් යුක්‌ත භික්‌ෂුන් වහන්සේ රුක්‌මුල් පර්වත ගල්ලෙන් ආදියෙන් නික්‌මී වඩින අයුරු දුටුවේය. එම සංවරය වූ භික්‌ෂුන් දුටු හෙතෙම පැහැදී, මා විහාරයක්‌ කරවුවොත් ඒ මාගේ විහාරයන්හි වසන්නෙහුදැයි ඇසුවේය. එවිට භික්‌ෂුන් ප්‍රකාශ කරන්නේ 'ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ නොඅනුදක්‌නා ලදහ' යි යනුවෙනි. එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා එය තමාට දන්වන ලෙස සිටුතුමා භික්‌ෂුන්ට දැන්වීය. අනතුරුව මෙපුවත භික්‌ෂුන් විසින් බුදුරජාණන් වහන්සේට දැන්වූයෙන් ඒ තථාගතයන් වහන්සේ

'අනුජානාමි භික්‌ඛවෙ පංච ලෙනානි විහාරං අඩ්ඪයොගං පාසාදං හම්මියං ගුහාති'

'මහණෙනි, විහාරයද, ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙයද දික්‌ පහයද සඳලු සහිත ගෙයද, ගුහාවද යන ලෙන් පස අනුදනිමි' යි වදාළ සේක. මෙම අවසරය භික්‌ෂුන් විසින් රජගහ සිටුතුමාට දැන්වූයෙන් ඔහු එක්‌ දිනකදී වෙහෙර සැටක්‌ ඉදිකරනු ලැබීය. විහාර ඉදිකරවා පසුදින තම නිවසට බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරවා සඟසතු මහා දානයක්‌ ද පිරිනමා අනතුරුව සිටුතෙම භාග්‍යවතුන් වහන්සේට දන්වන්නේ තමා විහාර හැටක්‌ කරවූ බවත්, එය කෙසේ පූජා කරන්නේ දැයි නොදන්නා බවත්ය. එවිට බුදුරදුන් සිටුතුමාට දන්වන්නේ,

'තේනහි තවං ගහපති තෙ සට්‌ඨි විහාරෙ ආගතානාගතස්‌ස චාතුද්දිසස්‌ස සංඝස්‌ස පතිට්‌ඨාපේහි'

'ගැහැවියෙනි, එසේ වී නම් තෙපි හැම වෙහෙර පැමිණි නොපැමිණි සිවුදිග වැසි සඟනට පිරිනමමු' යනුවෙනි. සිටුතුමාද එසේම කළේය. අනතුරුව සිටුතුමා ඇතුළු පිරිසට අනුමෝදනා දහම් දෙසන්නේ

'විහාරය ශීතයද උෂ්ණයද නසයි. එයින් අන්‍ය වූ චණ්‌ඩ මෘගයන්ද බඩගා යන සතුන් ද මැසි මදුරුවන්ද ශීත සුළං වැසිද බැහැර කෙරෙයි'. තවද එයින් අන්‍ය වූ හටගත් නපුරු අවු සුළං ද දුරුවෙයි. සංඝයාට විහාර කරවාදීම තුළින් තනිව හිඳිමින් ධ්‍යාන කිරීමටත්, විදර්ශනා තනිව වැඩීමටත් පහසුවනු පිණිස අග්‍ර දෙයකැයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ සේක. 

මෙමගින් සෙනසුනක්‌ අවශ්‍ය වන්නේ ඇයිදැයි යන කරුණ පහසුවෙන් වටහාගත හැක. මෙලොව ජීවිතයේ ආරක්‌ෂාව සඳහාත්, සසර ගිනි නිවා සසර කතරින් එතෙරවීම සඳහා උත්සුකවීමටත් යන අංග එයින් විද්‍යමාන වේ. 

තවදුරටත් බුදුරජාණන් වහන්සේ ආනිසංස දේශනා කරමින් නුවණැති සත්පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දකින්නේ, සිත්කළු විහාරයක්‌ කරවන්නේය (විහාර කාරයෙ රම්මේ) එහි ඇසූ පිරූ තැන් ඇති භික්‌ෂුන් වාසය කරන්නේය. වැඩවසන භික්‌ෂුන් විෂයෙහි ආහාරපාන (අන්නංච පානංච) වස්‌ත්‍ර ශයනාසනද (වස්‌ථ සේනාසනානිච) සෘජු ගුණ ඇති භික්‌ෂුන් විෂයෙහි විශේෂයෙන් ප්‍රසන්න වූ සිතින් පිරිනමන්නේය.

(දදෙයය උඡ්භූතෙසු විප්පසන්නේන චෙත්‍යා) මෙමගින් කරනු ලබන පූජා ලබාගන්නා භික්‌ෂුව යම් දහමක්‌ ඉගෙන ආස්‍රව රහිත වූයේ පිරිනිවීමට පත්වේ. එමෙන්ම දුක දුරුකරන දහම් මඟ අන්‍යයන්ටද දේශනා කරන්නේය.

මෙලෙස විහාර පූජාවේ උසස්‌ අනුසස්‌ රජගහ සිටුතුමාට දේශනා කරමින් එයින් භික්‌ෂුන් වහන්සේට මෙන්ම අන්‍ය ලෝකයාටද මහත් උපකාරයක්‌ වන ආකාරය පෙන්වා දුන් සේක.

තථාගතයන් වහන්සේ මෙසේ භික්‌ෂුන්ට විහාර අනුදන්නා ලදැයි ජනතාව වෙත දැන ගන්නට ලැබීමත් සමග බොහෝ දෙනා විහාර කරවා පූජා කිරීමට ඉදිරිපත් වූහ.

එකල භික්‌ෂුන්ට තනන ලද විහාරයන්හි අංගසම්පූර්ණ බවක්‌ නොතිබූ බව සේනාසනඛන්ධකයෙන් පෙනේ. ඒ අනුව තනාදුන් විහාරයන්හි දොරපලුවක්‌ නොතිබිණි. එහෙයින් සර්පයන්, ගෝනුස්‌සන්, පත්තෑයන් ආදී සතුන් ගෙතුලට පිවිසි බැවින් ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වනු ලැබිණි. ඒ සඳහා බුදුරදුන් 'මහණෙනි, දොරපලුව අනුදනිමි' (අනුජානාමි භික්‌ඛවෙ කවාටන්ති) යනුවෙන් වදාළ සේක.

මේ ආකාරයට විහාරාරාමවල එක්‌ එක්‌ අංගෝපාංගයන් සඳහා වෙන වෙනම අවසර ගැනීමට භික්‌ෂුන්ට සිදුවිය. ඒ සෑම අවස්‌ථාවකටම යම්කිසි හේතුවක්‌ ද විය. අවශ්‍යතාවක්‌ අනුව විහාරයේ දොර, දොරබාව, උතුරුලීය, අගුල, රැහැන, කෙසිසිදුර, ලෝහමුවා යතුර, ලීමුවා යතුර, අංමුවා යතුර ආදී යතුරු තුනද යතුරු ඉද්ද ආදියට අවසර ලැබිණි. මෙයින් දොරට අවශ්‍ය සම්පූර්ණ බවද විවිධ හේතු සාධක නිසා උපන් බව මෙයින් පැහැදිලි වේ.

තවද විහාරයේ බිත්තිවල බදාම ආලිප්ත කිරීම, වා කවුලු තැබීමද සිදුවිය. වා කවුලු දැල් වාකවුලු, තුන් වර්ගයකි. ගඩොලින් කළ වාකවුලුව, කූරු වාකවුලු ආදියයි. වාකවුලුව අතරින් වවුලන්, ලෙහෙනුන් ගෙට පිවිසියෙන් ඒ සඳහා රෙදි පාපිස්‌නක්‌ බැඳීම, දොර පලුවක්‌ දැමීම සඳහා අවසර ලැබිණි. බිත්තිවලින් පස්‌ වැටෙන බැවින් සිවිලිමක්‌ ලෙස උඩු වියනක්‌ ද අනුදැන ගත්තේය. තවද බිම නිදන බැවින් සිවුරුවල මඩ තැවරෙන බැවින් බිමට නිදා ගැනීමට තණ ඇතිරියක්‌ද, තණ ඇතිරිය මීයන් කන බැවින් පිලක්‌ද, පිලෙහි සිට පාද රිදෙන බැවින් වේවැල් ඇඳක්‌ද (බිදල මඤaචක) බුදුහු අනුදැන වදාළහ. මෙලෙස ඒ ඒ අවශ්‍යතා සඳහා අවසරය ලැබෙන්නේ පවතින තත්ත්වය මත ගැටලුකාරී බවක්‌ ඇතිවූ විටය. මෙමගින් භික්‌ෂුන්ගේ අවශ්‍යතා සඳහා සානුකම්පිතව බලා ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම ඒ ඒ අවස්‌ථානුකූලව ලබාදී ඇති අයුරු පෙනේ.

ඊට අමතරව භික්‌ෂුන්ට විවිධ පාරිභෝගික භාණ්‌ඩ ලැබී ඇත. එක්‌කෝ අතහැර දමන ලද දෙයක්‌ නැතිනම් කෙනකු විසින් කරනු ලබන පරිත්‍යාගයක්‌ විය හැකිය. එවැනි අවස්‌ථාවල ඒ ඒ භාණ්‌ඩ පරිහරණය සඳහාද අවසර ලබාදී ඇත. ඒවා අතර මසාරකයක්‌ (පා විද අටනින් පිවිස්‌වා කළ ඇඳක්‌) මසාරක පුටුවක්‌, බුන්දිකා බද්ධයක්‌ (විට්‌ටම් විද එහි පා යොදා තනන ලද ඇඳක්‌), බුන්දිකාබද්ධ පුටුව, කකුලු පා සහිතව සාදා ඇති ඇඳ සහ පුටු, සතරැස්‌ පුටුව, සප්තාංගයක්‌ (කවිච්චිය), උස්‌ කවිච්චිය පීඨිකාවක්‌ (රෙදි කඩක්‌ බැඳි පුටුව), පුවරු පා පුටුව, ලෑලි බංකුව, පිදුරු පුටුව යනාදීන්ට ද අවසර ලැබුණු බව සඳහන් වේ. ඉතා උස්‌ ඇඳ පරිභෝගයට අවසර ලබාදී නැත.

කොට්‌ටය සඳහා අවසරය ලැබුණු අතර රුක්‌ පුලුන්, වැල් පුලුන්, තණ බට ආදියෙන් ලැබෙන පුලුන් සඳහා අවසරය ලද බව දැක්‌වේ. හිසට පමණක්‌ කොට්‌ටය දැරීමටත් සිරුරේ බාගයකට වඩා දිග කොට්‌ට සඳහා අවසර ලබා නොදුන් අතර ඒවා පරිභෝග කිරීමෙන් දුකුලා ඇවැත් වන බවද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. මේ සඳහා හේතු වූයේ ගිහි මිනිසුන් භික්‌ෂුන්ට සැප පහසුව වැඩි යෑයි දොස්‌ නැගීම හේතුවෙනි.

තවද බිත්තිය, බිම ආදියෙහි සුනු-මැටි පිළියම් කිරීමටද අවසරය ලැබිණි. බිත්තිවල මල් ලියකම් ඇදීමට අවසර ලබාදී ඇති අතර - කාන්ත රූප ඇඳීම තහනම්කොට ඇත. අනතුරුව සම්පූර්ණ ගෘහයකට අවශ්‍ය සිවුරු රෙදි වනන වැලක්‌, ගෙය වටකොට කොටු පවුරක්‌ හා ඊට දොරක්‌ද අනුමත විය. බිම බොරලු දමා අලංකාර කළ අතර ගල් පුවරු දමා පිරිසිදු බව ආරක්‌ෂා කළේය. අලංකාරයට වඩා ආරක්‌ෂාව සඳහා කොටුව, හිඳිකඩ, දොර, තොරණ, රෝද කඩුල්ල ආදියද අවශ්‍යතා අනුව බලා බුදුරදුන් අනුමත කොට ඇත.

මේ අතර සේනිය බිම්බිසාර රජු විහාරයක්‌ කරවීමට අවශ්‍යවී කවර සෙවිල්ලක්‌ අනුමතදැයි විමසූ විට උළු සෙවිල්ල, ගල් පුවරු සෙවිල්ල, හුණු බදාම සෙවිල්ල, තණ සෙවිල්ල, කොළ සෙවිල්ල යන පස්‌ ආකාරයක්‌ අනුමත කළහ.

මේ අනුව සිවුපසට අයත් සේනාසන ප්‍රත්‍යයද විවිධ හේතු සාධක මූලික කොට ගෙන සංවර්ධනය වූ අවස්‌ථාවක්‌ පෙන්නුම් කෙරේ. භික්‌ෂු සාසනයේ අභිසංවර්ධනයට අවශ්‍ය අංගෝපාංග බොහොමයක්‌ සැදැහැවත් දායක පින්වතුන්ගේ පරිත්‍යාගයන්ය. දායක පක්‌ෂය හා පූජ්‍ය පක්‌ෂය අතර බැඳීම භික්‌ෂුන්ගේ පැවැත්ම හා ආධ්‍යාත්මික දියුණුව කෙරෙහිත්, දායකයන්ගේ දෙලොව සුබ සිද්ධිය සඳහාත් හේතුවන්නකි.

අනුරාධපුර ඉදිවන සඳහිරු සෑය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර සංකල්පනාවකට අනුව සඳහිරු සෑය ඉදිකිරීම් ආරම්භ කරන ලදී. සඳහිරු සෑය ඉදිකිරීම් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරෙන අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙත් දේශීය හා විදේශීය දායකත්වය මත පේසා වළලු තුනෙහි ඉදිකිරීම් අවසන් කර ගර්භයේ ධාතු කුටිය ඉදිකිරීම් නිමවා මෙම වසරේ නොවැම්බර් මස 23 වනදා පන්දහසකට අධික මහ සඟරුවන පෙරටු කර ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සුරතින් ශ්‍රී සර්වඥාධාතුන් වහන්සේලා නිදන් කිරීමට නියමිතය. අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු මෙරට සම්භාවනීය පූජනීය මහ සඟරුවනෙහි අනුශාසනා පරිදි අතීත චෛත්‍යය කර්මාන්ත ඉදිකරවීමේ චාරිත්‍ර විධි මේ සඳහා අනුගමනය කැරේ.

සඳහිරු සෑය නිර්මාණය වනුයේ අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ට දක්ෂිණ දිසා භාගයේය. සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ තිස් වසරක් මුළුල්ලේ පැවැති බිහිසුණු එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසන් කර සාමය උදා කිරීම පිළිබඳ පණිවුඩයයි. සාමයේ සංකේතයක් ලෙස සඳහිරු සෑය ඉදිවේ. එමෙන්ම එල්.ටී.ටී. ඊ යුද්ධය තුළ ශ්‍රී ලංකා ධරණීතලයේ උපන් විශාල දරු පිරිසක් ජීවිත පරිත්‍යාග කළේය. ඒ යුද්ධය අවසන් කිරීම සඳහාය. එමෙන්ම මව්කුසයේ සිටි අහිංසක දරුවන්ගේ සිට කිරිදරුවන්, ගැබිනි මව්වරුන්, ගොවියන්, වෘත්තිකයන්, පාසල් දරුවන්, විවිධ තරාතිරම්වල අහිංසක පුරවැසියන්,භික්ෂූන් වහන්සේද ඇතුළු පදික වේදිකාවේ සිට රටේ ජනාධිපතිවරු දක්වා යුද්ධය වෙනුවෙන් රටේ මනුෂ්‍යයන්ගේ ජීවිත අහිමි වුණි. ඒ හැම දෙනාම අනුස්මරණය කරමින්, ඒ හැම කෙනෙක්ම නැතිවීම තුළ ඒ ඒ අයගේ ඥාතීන්ට ඒ ඒ අයගේ දරුවන්ට , ඒ ඒ අයගේ හිත මිතුරන්ට සිදුවූ පාඩුව කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. ඒ ඒ අයගේ ජීවිතවල පුද්ගල වටිනාකම් කවදාවත් මෙතකැයි කියා තක්සේරු කළ නොහැකිය. එබැවින් ඒ සියලු දෙනාට පින් දෙන්නත් ඒ යුද්ධය තුළ තමන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවන්, දෙමාපියන් ,ඥාතීන් ආදි වශයෙන් අහිමිවීමෙන් තමන්ට ඇතිවී තිබෙන වේදනාව, දුක තුනී කර ගැනීමට ඒ වෙනුවෙන් ඒ අයගේ උදාර පරිත්‍යාගයට, ඒ අයගේ අහිමිවීමට නැවත වෙනත් කළ හැකි දෙයක් නොවේ. එහෙයින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා දෙස් විදෙස් වශයෙන් ලබා ගෙන එම ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කර මෙතෙක් හෙළ රජවරුන් විසින් කරන ලද මහා නිර්මාණයකට සමාසන්නව සිදුකරන අද්විතීය කටයුත්තකි, සඳහිරු සෑය ව්‍යාපෘතිය. යුද්ධය අවසන්වීමත් සමඟ සඳහිරු සෑය ව්‍යාපෘතිය 2010 නොවැම්බර් 22 වැනිදා ආරම්භ කැරිණි. යුද්ධය අවසන් කළේ 2009 මැයි 18 වැනිදාය. සඳහිරු සෑය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර උසස් අරමුණක් සමඟය. ලෝකයේ යුද්ධයක් අවසන් වීමෙන් පසු යුද්ධයට පසුව සිදුවන අපරාධ පිළිබඳව අප කථා කරනු ලැබේ. විශේෂයෙන් අවි ආයුධ අතට ගත් සෙබළුන්, තමන් මරණය ඉදිරියේ අභීතව ඉදිරියට යනු ලබන්නේ ඔවුන් තුළ යුද ජයග්‍රහණය සඳහා විශාල පෙළඹවීම ඇති හෙයිනි. එවිට මානසිකත්වය ජයග්‍රහණයෙන් අවසන් කළත් ඒ මානසිකත්වය තරුණයන් තුළ පවතී. ඒ යුද්ධය වෙනුවෙන් කැප වූ තමන් තුළවූ වීර හැඟීම් ජනිත වූ ඒ අයගේ හැඟීම් ධාර්මික හැඟීම් බවට පත් කිරීමට අවශ්‍ය වේ. ඒ කාර්යයේදී අතීත හෙළ රජවරුන් පවා සිදු කළ දෙයක් නම් ස්ථූප නිර්මාණය කිරීමය. යුද්ධය අවසන් කළ දුටුගැමුණු මහ රජතුමා සිදුකරන ලද්දේ රුවන්වැලි මහා සෑය ඉදිකරවීමයි. ඒමෙන්ම ලෝකයේ ත්‍රස්තවාදි යුද්ධයක් අවසන් කිරීමෙන් පසු මෙවන් සාමකාමිත්වය හා සංවර්ධනය යන දෙඅංශයටම එකට පොදුවේ යාහැකි ජපානය වැනි රටවල් අපට දක්නට ලැබෙණුයේ ඉතා අතළොස්සකි. “බොහෝ රටවල සිදුවූයේ බිහිසුණු තත්වයන්ය.
ඒ නිසා යුද්ධය අවසන් කළා පමණක් නොව අපට දක්නට ලැබෙන බාහිර අර්බුදය දුරු කළා සේම ආධ්‍යාත්මික වැඩ පිළිවෙළකට හමුදාවේ සෙබළුන්, නිලධාරින් යොදා ගැනීම තුළ ඔවුන්ගේ ආධ්‍යාත්මික පෝෂණයටත් මෙය ඉතා වැදගත් වන බව අප දැකිය යුතුවේ. එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදයට සම්බන්ධ පාර්ශ්ව, එල්.ටී.ටී.ඊ යට ගොදුරු වූ බොහෝ දෙනා, ප්‍රභාකරන් වේවා, ප්‍රභාකරන් වටා සිටි විවිධ කණ්ඩායම් වේවා ක්‍රියාත්මක කළේ අපේ රටට අහිතකර ව්‍යාපෘතියකි. මිථ්‍යාදෘෂ්ටික බාහිර බලපෑම් නිසා එල්.ටී.ටී.ඊ, සංවිධානය මේ රටේ පැවතුන රජයන් සමඟ සහ ආණ්ඩු කීයක් සමඟ ඔවුන් වසර කියක් සටන් කරන ලද්දේද? එසේ දිගු කලක් සටන් කළ හැකි වූයේ ඔවුන් දේශීය විමුක්තිකාමින් පිරිසක් නිසා නොවේ. ඒ අයට අන්තර්ජාතිකවශයෙන් ත්‍රස්තවාදය පෝෂණය කරන සංවිධානවල උදව් උපකාර ලැබුණු හෙයිනි. එබැවින් ඒ අයගෙන් විශාල පිරිසකගේ ජීවිත නැතිවුණි. ඒ නිසා මනුෂ්‍යත්වය ඉදිරියේ මේ කාගේත් ජීවිතවල වටිනාකම එක හා සමානව දැකිය හැකිය. යුද්ධයේ ගොදුරු බවට පත්වූ සතුරු මිතුරු සියලු දෙනාම මෙහිදී අප අමතක කරනු නොලැබේ. ඒ නිසා “සඳහිරු සෑය” යනු මනුෂ්‍යත්වයේ සංකේතයකි. “සඳ හිරු සෑය” තුළ යුද්ධය අවසන් කිරීම පමණක් නොව මතු මෙවන් යුද්ධයක් නොවීමටත් , යුද්ධය හේතුවෙන් විනාශ වූ මිනිස් ජීවිත ප්‍රමාණය කියා නිම කළ නොහැකිද වේ. අපේ රටේ ජාතික සම්පත් විනාශ වූයේ මෙතරම් ප්‍රමාණයක් යැයි කිව නොහැකිය. ඒ සියල්ල අවසන් කිරීමේ පරම භාග්‍යය අපට උදාවූයේ තුනුරුවන්ගේ ආශිර්වාදය තුළයි. ඒ නිසා තුනුරුවන්ගේ ආශිර්වාදය තුළ නිමාවූ යුද්ධයට තුනුරුවන්ට සිදු කරන උපහාරක් ලෙස සඳහිරු සෑ චෛත්‍යය පූජාව ඉතා වැදගත්ය. බෞද්ධ පදනමක් මත ගොඩනැඟුණ බෞද්ධ රාජ්‍යයක් වූ අපේ රට තුළ සඳහිරු සෑය පොළොව මතුපිට සිට උසින් අඩි 280 කි. අඩි 50 කට ආසන්න පොළොව යට සිට පොළොව පාදම තිබේ. සඳහිරු සෑයේ විශ්කම්භය අඩි 255 කි. සඳහිරුසෑයේ වට ප්‍රමාණය අඩි 802 කි. සඳහිරු සෑය නිර්මාණය කිරීමේදි ලෝකයේ ඉදිවන විශාලම කලාගාරයක් බවටද පත්වේ. සඳහිරු සෑය වටා සලපතල මළුවට පහළින් කොටස විශාල කලාගාරයක් බවටපත් කිරීම සඳහා ජාතක කථා, බෝසත් සිරිත,අසිරිමත් බුදුසිරිත, ලංකා ශාසන ඉතිහාසය, දම්සක් පැවැතුම් සූත්‍රයේ අදාළ සංකල්ප මූර්තිමත් කෙරේ. මේ අයුරෙන් අර්ධෝන්නත ශෛලමය පුවරුවලින් චෛත්‍ය වටා නිර්මාණය වේ. එය ඉතා විශාල කාර්යයක් ලෙස සිදුවේ. රට පුරා විවිධ ප්‍රදේශ සම්බන්ධ කර මේ වන විටත් නියම ප්‍රමිතියකට අනුව ගඩොල් නිෂ්පාදනය වේ. දිනකට එක ගඩොල බැගින් උසින් නිර්මාණය කර ධාතු නිධානය දක්වා එය ඉදිවී තිබේ. ධාතු නිධානය හෙවත් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරනුයේ රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානය සිදුවූයේ කෙසේද? ඒ අයුරෙන්ම පෙර රජ දරුවන් කළ සියලු චාරිත්‍ර, සියලු පූජා ද්‍රව්‍ය,රන් රුවන් මුතු, මැණික් සියල්ල තැන්පත් කර එම ධාතු නිධන පූජෝත්සවය පැවැත්වේ. ඒ නිසා මෙය ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසය තුළ අපට වසර දහස් ගණනකට පසු දක්නට ලැබෙන, නැවත අපේ ජීවිතයේ පමණක් නොව ඇතැම් විට සංසාර ගමනේදි බොහෝ කලකට පවා දක්නට නොලැබෙන ඉතාම පරම භාග්‍යය සම්පන්න අවස්ථාවකි. වාසනාවන්ත අවස්ථාවකි. තම තමන්ගේ සියැසින් ඒ මහඟු අවස්ථාව දැක බලා වැඳ පුදා ගැනීමට සියල්ලන්ටම අවස්ථාව උදා වී ඇත. එනම් සඳහිරු සෑයේ ධාතු නිධාන පූජෝත්සවයයි. එම උදාර අවස්ථාව සැදැහැ සිතින් දැක, බලා වැඳ පුදා ගැනීම උදාර පින්කමකි.

බුදුරජාණන් වහන්සේ විසින් චෛත්‍යයක් ඉදිකර පිදිය යුතු ථූපාරහ දැක්විය යුතු පුද්ගලයෝ සිවු දෙනෙකු පිළිබඳ දේශනා කර ඇත. එනම් ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, රහත් ශ්‍රාවකයා, ධර්මයෙන් ලොව පාලනය කරන සක්විති රජතුමා වශයෙනි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමේදී ත්‍රිවිධ චෛත්‍යය වන්දනාව පැවැත්වේ. ශාරිරික , පාරිභෝගික හා උද්දේසික වශයෙන් එම චෛත්‍ය නම් කරනු ලැබේ. “ශාරිරික චෛත්‍යය “ යනු සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කර ඉදිකරවන ලද චෛත්‍යය වේ. පාරිභෝගික චෛත්‍යය යනු බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද බෝධින් වහන්සේ, පාත්‍රධාතුව ,පටිධාතුව ආදිය පාරිභෝගික චෛත්‍යය වේ. උද්දේශික චෛත්‍යය යනු බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ලද පෙතිපිළිම ආදියයි. ශාරිරික චෛත්‍යය වන්දනාව මෙහිදී සිදුකෙරේ. බුදුහාමුදුරුවන්ගේ ශරීරය වන්දනාමාන කිරීමේදි ශ්‍රී දේහය පිළිබඳ කටයුතු කෙසේ විය යුතුදැයි ? යන්න මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්වේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් “ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවීමෙන් පසු ඔබ වහන්සේගේ ශරීරයට අප කෙසේ කටයුතු කළ යුතුද” යි විමසා බැලූහ .එහිදී බුදුරජාණන් වහන්සේ විසින් මා ආනන්ද තථාගතස්ස ව්‍යාමතා හෝථ ශරීර පූජාය ආනන්ද, ඔබ වහන්සේ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව පිළිබඳව යාවෘත නොවිය යුතුය. ඒ ගැන සැලකිලිමත්වීම අවශ්‍ය නොවේ. එහෙමනම් ස්වාමීනි, ඒ පිළිබඳ සැලකිලිමත් වන්නේ කවුරුන්දැයි විමසු කල ඒවා ඉටු කිරීමට රජ දරුවන් වේ. අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් ගිහි පින්වතුන් වෙනුවෙන් ආනන්ද හාමුදුරුවන් විමසනු ලබන්නේ රජ දරුවෝ කෙසේ පිළිපැදිය යුතුද? යන්නය. එවිට බුදුරජාණන් වහන්සේ විසින් සක්විති රජකුට මෙන් ආදාහනය කළ යුතුයි. ශේෂවන ධාතුන් වහන්සේලා වෙන් කර ගෙන ඒ ධාතුන් වහන්සේලා මංසන්ධිවල, පිරිස් රැස්වන ස්ථානවල විශේෂ ස්ථූප කරවා ජනයාගේ වැඳුම් පිදුම් සඳහා තිබිය යුතුය. එමඟින් බොහෝ දෙනෙක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේගේ බව කල්පනා කරමින් සිත් පහන් කරගෙන වැඳ පුදාගෙන බොහෝ පින්කම් සිදු කර ගනී යනුවෙනි.

“චෛත්‍යය“ පිළිබඳව "අනුස්මරණය" යන අදහස සිහියට එනු ලැබේ. චෛත්‍යය පූජාවේ’ ආනිශංස පිළිබඳව බොහෝ විට අපට අපදාන පාලියේ දක්නට ලැබේ. පදුම පූජක ථේරාපදානය රේණුපූජක ථේරාපදානය ආදි වශයෙන් ථේරාපදාන රාශියක් දක්නට ලැබේ. විවිධ බුදුරජාණන් වහන්සේලාගේ ධාතු චෛත්‍යයන් වෙත කරන ලද පූජෝපහාර නිසා ලබාගත් ආනිශංස පිළිබඳ රහතන් වහන්සේලා කරන ලද ආත්ම ප්‍රකාශන පිළිබඳව එමෙන්ම චෛත්‍යයක් ඉදිකිරීමේදී එය කුඩාවට කරවීම නිසා (ලකුණ්ඨකභද්දිය හාමුදුරුවන්ගේ කථාව) යොදුන් හතක් උසට කරවන්නට සූදානම් කළ චෛත්‍යයක් නඩත්තුව අපහසු යැයි කපල්පනා කර යොදුනකට මිටිකරවීමේ ආදීනව ලෙස උන්වහන්සේ උපනූපන් ආත්මභාවවල ඉතා මිටි ශරීරයක් ඇතිව උපන් බව සඳහන් වේ. එමෙන්ම වැල්ලේ අතින් වැලි ගොඩ ගසා බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයක් යැයි සිතා ඊට වන්දනා කර පහන් සිත් උපදවා ගෙන පින් සිදු කර ගත් වැද්දකුගේ පුවතකුත් අසන්නට ලැබේ. ඒ නිසා චෛත්‍යය ඉදිකරවීම උසස් සම්බුද්ධ පූජාවකි. සැබැවින්ම මෙය මහා ශාන්තියක්ද වේ. යුද්ධය ආර්ථික ව්‍යාපාරයක් කරගත් ඇතැම් අයකුට යුද්ධයෙන් යැපුණු පිරිසට මේ යුද්ධය අවසන් කිරීම විශාල පාඩුවකි. එහෙත් යුද්ධය අවසන් කිරීම හරහා ලෝකයේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම බුදුදහමේ දැක්වෙන අන්දමට ලෝකයේ තිබෙන මානව හිමිකම් ආරක්ෂා කිරිමකි. යුද්ධයක් තුළින් හානිවන ධනය හෝ මිනිස් ජීවිත හෝ ඒ හරහා නැතිවන සමාජ සාරධර්ම හෝ අනාගතයට ලෝකයේ මොනතරම් වටිනාකම් දෙදරා යයි දැයි අපට කිව නොහැකිය. ඒ සියල්ල අවසන් කිරීම කියන කාරණාවේදී අපේ රට බුදුදහමත් සමඟ සිතන බැවින් අපට මේ යුද්ධය අවසන් කර ගැනීමට අවස්ථාව ලැබුණේය. එ පමණක් නොව යුද්ධය අවසන් කරගෙන ඒ යුද්ධයට පෙරමුණ ගත් සමහර උදවිය අද අපේ රටේ සමාජ ක්‍රියාකාරිත්වය තුළ ඉහළම තැන්වලට පවා පත්ව තිබේ. ඒ නිසා බුදුදහමේ පෙන්වන උසස්ම සාරධර්ම නම් සමාවදීමය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වනුයේ “නහි වෙරේන වේරාණි සම්මන්තීධ කුදාචනං” වෛරයෙන් වෛරය නොසන් සිඳේ.වෛරය මෛත්‍රියෙන් සංසිඳේ වෛරය මෛත්‍රියෙන් දිනිය යුතුය. “අවිරුද්ධං විරුද්ධේසු” විරුද්ධ අය ඉදිරියේදී අවිරෝධීව කටයුතු කළ යුතුය. මේ සියලු සංකල්ප සාරධර්ම ගැඹුර මනස තුළ ශක්තියක් කර ගනිමින් සඳහිරු සෑය ගොඩ නැඟේ.
ස්ථූප පුරාණය
පෙර බුදුවරුන්ගේ කාලවලදී ස්ථූප කිරීම් පිළිබඳව දක්නට ලැබේ. බුද්ධ වංශය, චර්යා පිටකය ඊට අදාළ අටුවා ආශ්‍රයෙන් සොයා ගත හැකිය. ගෞතම බුදුරජාණන් වහන්සේට ස්ථූප කිරීම පිළිබඳව දේශනා කරන ලද අවස්ථා රාශියක් අපට දක්නට ලැබේ. එහිදි බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදීත් ඉදිකළ චෛත්‍යය ගැන අපට අසන්නට ලැබේ. උන්වහන්සේගේ කේශධාතු පළමු කෙස් පිඬ අරගෙන දෙවිවරු සිළුමිණි සෑය කරවන ලදී. උන්වහන්සේ ගේ රජසළු ලබාගෙන සිළුමිණි සෑයද දෙවිවරු විසින් ඉදිකරවන ලදී. එවගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු ලබා ගත් කේශධාතු තැන්පත් කර තිරියාය ගිරිහඬු සෑය ඉදිකරනුයේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින්. එවගේම බුදුහාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් වැඳ පුදා ගැනීමට වස්තුවක් නැති තැන උන්වහන්සේගේ පාරිභෝගික චෛත්‍යය වන ශ්‍රී මහා බෝධින් වහන්සේගේ (අංකුරයක් ජේතවනාරාමයේදී ආනන්ද බෝධිය රෝපණය කරන ලදී. ඒවගේම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරවූ ස්ථානය” මියුගුණසෑය” ත් චූලෝදර ,මහෝදර සටනේදී ඒ සටනට මුල් වු මැණික් පුටුව තැන්පත් කර නාගදීප චෛත්‍යය කරවන ලදී. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ විවිධ ධාතුන් වහන්සේලා (විශේෂයෙන් පරිභෝග කරන ලද) තැන්පත් කැලණි විහාරයේ චෛත්‍යය ඉදිවේ.
බුරුමයේ ස්වේදගොන් චෛත්‍යය ආදි විදේශවලත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරන චෛත්‍යය ඉදිකිරීම බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයේ කරුණු සනාථ කරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ රහතන් වහන්සේලා වෙනුවෙන් භාතියදාරුචීරිය ගිහියෙක් ලෙස එළදෙනක් ඇනීමෙන් මරණයට පත්වේ. එහෙත් ඒ වන විටත් බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා රහත් වී සිටියේය. බුදුරජාණන් වනන්සේ ඒ ගිිහි රහතන් වහන්සේ වෙනුවෙන් භික්ෂූන් වහන්සේට සඳහන් කරනුයේ ඒ දේහය චිතකයක දල්වා “ථූපචස්ස කාරාපේථ” ඔහු වෙනුවෙන් ස්ථූපයක්ද කරවන්න යනුවෙනි.

ගිහි රහතන් වහන්සේ කෙනෙකු වෙනුවෙන් උපහාරය සඳහා සෑයක් කරවූ බව අපේ සූත්‍ර සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒ බාහියදාරු චීරිය කථාවයි. ඊළඟට බෞද්ධ ඉතිහාසය තුළ සක්විති රජ කෙනෙකු පිළිබඳව මෑත යුගයේ දක්නට නොලැබුණත් සක්විති රජ දරුවන් වෙනුවෙන් කරවන ලද ස්තූප ගැන දැක්වේ. සක්විති රජ කෙනෙකු යනු “අදණ්ණේන අසත්තෝ න ධම්මේන,අදණ්ංඩිනී දඬුවම් නොකර අසත්තේන නැතිව අවි ආයුධ ධම්මේන ධර්මානුකූලව රාජ්‍යය කරන කෙනෙකි. ඒ සක්විති රජතුමා සක්විති රජකමට පත්වනුයේ පරපුරෙන් නොවේ. “න පෙත්තිකංදායාදං” පියාගෙන් පුතුට උරුම වූවක්ද නොවේ. ඒ සඳහා තමන්ම සීලයෙහි පිහිටා තමාම ගුණ දහම් සමඟ ඇතිකර ගනු ලබන රාජ්‍යයකි. එය තමන්ට හිමිවනුයේ තමන් වඩන ගුණ දහම් ද සමඟය. එවන් සක්විති රජවරු, පසේ බුදුවූ බුදුරජාණන් වහන්සේ නමක ශාසනය පහළ වන්නේ නැත. ඊළඟට රහතන් වහන්සේලා වැඩ සිටියහ. සක්විති රජ කෙනෙකු අපේ ජීවමාන බුදුහාමුදුරුවෝ කාලයේ පහළ නොවූහ. ඒ නිසා ඒ අය වෙනුවෙන් කරන ලද ධාතු පූජා අප සඳහන් කළ අයුරෙන් දැක්වේ.
බුදුහාමුදුරුවෝ වෙනුවෙන් චෛත්‍ය පූජාව සිදු කරන ලදී. පළමුව බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව ධාතුන් වහන්සේලා වෙනුවෙන් ධාතුන් වහන්සේලා බෙදා ගැනීම පිළිබඳව ලොකු උනන්දුවක් එදා සිටි ජන කණ්ඩායම්වලට ඇති වූයේය. එහිදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොටස් අටකට බෙදා ඒ ඒ ප්‍රදේශවල තැන්පත් කිරීම සඳහා ඒ ඒ අය පෙරහරෙන් වැඩම කරවූහ. ඒ අයුරෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ධාතු පූජාවක් සිදු කරන ලදී. අනතුරුව එම ධාතු චෛත්‍යය නැවත බිඳ ඒවායෙන් ඒ ධාතුන් වහන්සේලා නැවත ලබා ගෙන චෛත්‍යය අසුහාර දහසක් ඉන්දියාව තුළ ගොඩනංවයි. ඒ ධර්මාශෝක මහ රජතුමා විසිනි. ඊළඟට ඒ අතර බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්ට ලැබුනු ධාතුන් වහන්සේලාගේ සමහර කොටස් අදටත් අපට ලැබී තිබේ. ඉන්දියාවේ මෙන්ම නොයෙක් ස්ථානවල ඒ ධාතු කොටස් දක්නට ඇත.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඉතා කුඩාවට සමහරවිට පිච්ච පොහොට්ටුවක් තරමට,අබ ඇට තරමට විසිරී ගිය ධාතුන් වහන්සේලාය. ඒ නිසා එම ධාතුන් වහන්සේ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් වැඩ හිඳි . එම ධාතුන් වහන්සේලා තැන්පත් කර ධාතු පූජා පවත්වමින් චෛත්‍යය ඉදිකරවා ඇති බව අපි දනිමු.
මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කිරීමෙන් පසු අපේ රටේ ඉදිවූ ප්‍රථම චෛත්‍යය ථූපාරාමයයි. බුදුරජාණන් වහන්සේ වැඩමවීමට පෙර මහියංගණ චෛත්‍ය ඉදිකරවූ බව සඳහන් වේ.පෙර රජදරුවන් එම චෛත්‍ය සඳහා “කංචුක චෛත්‍යය” ලෙසින් නැවත නැවත එම චෛත්‍ය විශාල ලෙස කරවූහ. එමෙන්ම එම චෛත්‍යය පූජාවේදි එම චෛත්‍යයට යන වියදම හෝ ඊට වැය වන ශ්‍රමය ගැන නොසිතූහ. ඊට වඩා බුද්ධෝපස්තානයක් ලෙස චෛත්‍යය ඉදිකළ යුතු බව ඒ චෛත්‍යය පූජාවලින් හෙළිවේ.
අපේ ඉතිහාසය තුළ අනුරාධපුරයේ ඉදිකරන ලද චෛත්‍යය නිර්මාණය තුළ ඒ අයගේ පැවැති ශ්‍රද්ධාව මොනතරම්දැයි කියන බව එහි ඇති දැවැන්ත බවෙන් පෙනේ. එරටේ සශ්‍රීකත්වය, සමෘද්ධිය පිළිබිඹු කරන කරුණක් මෙන්ම ආධ්‍යාත්මය පිළිබිඹු කරන කාරණාවක්ද විය. අදටත් එම මහා චෛත්‍යය නිර්මාණ අපව පුදුම කරවන තරම් සුළුය. එසේ අප පුදුම කරවන සුළු එවන් නිර්මාණ මෙම ලක්දෙරණ තුළ ඉදිකළේ අපේම මුතුන් මිත්තන් බවට අපේ ඇතැම් අයට අමතක වී ගොස් ඇති බවක්ද පෙනේ. ඒ නිසා මේ ගෝලීයකරණය තුළ පර ගැති චින්තනය සමඟ යටපත් වේ ගෙන යන විදේශීය සංකර සංස්කෘතියේ ගොදුරු බවට පත්ව ඇති, අගය නොකළ යුතු ජීවිත පෞරුෂ සාධක ලෙස සලකන හිස් මිනිසුන්ගේ හිස් දේ, හිස් මුදුණින් පිළිගැනීමට යොමුවූ සහ එවන් යොමුකිරීම් පවතින සමාජයේ ඒ වෙනුවට ලෝවාමහාපාය ඉදිකරපු මහා විහාර දාන ශාලාවේ හාමුදුරුවරු තුන්දහස් හත්සියයක් දානය වළඳපු අභයගිරි දාන ශාලාවේ, හාමුදුරුවරු පන්දහසක් දානය වැළඳු එවන් ඓතිහාසික මහා වටිනාකම් සහිත රුවන්වැලි මහා සෑය, ථූපාරාමය,අභයගිරිය, ජේතවනය ආදි මේ සිද්ධස්ථාන අහස උසට චෛත්‍යය ඉදි කරපු රටක,ජාතියක, මහා සමුදුර වන් වැව් තනා රටම සහලින් ස්වයංපෝෂිත කරන ලද ආසියාවේ ධාන්‍යාගාරය ලෙස ලොවට බත සපයපු මේ පුංචි රට ඉන්දියාවටත් වඩා ලොකුවට සිතියම් ඇඳි අපේ රටේ මානව සම්පත් හැකියාවන් දැක එවන් රටක තිබූ සෞභාග්‍යයට පමණක් නොව ගුණධර්ම අතින් මැණිකක් ඇතිව ගත් කන්‍යාවියක් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කළ හැකිව තිබූ රටක වර්තමාන පරපුරට ඒ තමන්ගේ සැබැ අතීත උරුමය සිහිකරදීම මේ චෛත්‍යය පූජාව තුළ සිදු කිරීමට අපේක්ෂිතය.
බුදුරජාණන් වහන්සේ නමකට පරිනිර්වාණ තුනක් සිදුවේ. ඉන් එකක් නම් ක්ලේශ පරිනිර්වාණයයි. අනික ඛන්ධ පරිනිර්වාණයයි.අනික ධාතු පරිනිර්වාණයයි. ක්ලේශ පරිනිර්වාණය යනු එදා සිද්ධාර්ථ තාපසතුමා වයස අවුරුදු තිස්පහේදී ගයාවේ බෝමැඩදි කෙලෙස් දුරු කිරීමයි. ඊළඟට ඛන්ධ පරිනිර්වාණයයි.උන්වහන්සේ වයස අවුරුදු අසුවේදී මල්ල රජ දරවන්ගේ උපවත්තන සල් උයනේදි උන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදු විය. ධාතු පරිනිර්වාණය යනු ශාසන අන්තර්ධානයේදි ධාතුන් වහන්සේලා සියල්ලම ඒකරාශි වී බුදුරජාණන් වහන්සේ හා සමාන රූපයක් මැවී මොහොතක් ධර්මය දේශනා කර නැතිවී යන දවසයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවමානව පවතී. උන්වහන්සේගේ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලාද ජීවමානව වැඩ සිටිති. ඒනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පරිදි ‘තියට්ඨං චෙ නිබ්බුතෙ චාපී සමෙ චිත්තේ සමංඵලං’ බුදුරජාණන් වහන්සේ නමක් සුජීවත්ව වැඩ සිටියත්, පිරිනිවන් පෑවත් බුදුරජණන් වහන්සේ නමක් උදෙසාම කරන පූජාවක් හා සමාන ප්‍රතිඵල ලබාගත හැකිය.අදහස වැදගත් වනු ඇත. “චෙතො පසාදංහේතු” චිත්තප්‍රසාදය තුළින් සත්ථා ගච්ඡන්ති සුග්ගතිං “ සත්තවයාට සුගතිගාමි විය හැකිය. බුදුපියාණන් වහන්සේගේ දේශනයේ, පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති” “යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දකීද? ඔහු ධර්මය දකී යො ධම්මං පස්සති සො වං පස්සති” යමෙක් ධර්මය දකීද? ගේ මා දකිනු ලැබේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් දැකීමට උගන්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය උන්වහන්සේම සඳහන් කරන අන්දමට ශරීරය විනාශ වී ගියත් මේ මගේ ධර්මය තිබෙන තාක්කල් බුදු හාමුදුරුවෝ ධර්මය තුළින් දකිනු ලැබේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේ දකින්න ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාත් ඒ වගේම උන්වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය පවතී. ජීවමාන බුදුහාමුදුරුවෝ අපට දක්නට නැතත් ජීවමාන බුදුහාමුදුරුවෝ දකින ක්‍රමය අපට ඉතිරිව පවතින්නේ උන්වහන්සේගේ ධර්මය හා උන්වහන්ස්ගේ ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේලා නිසා.
යුද ජයග්‍රහණය බොහෝ දෙනා අවසන් කරනුයේ කෲරත්වයෙනි. වහලුන් ලෙස පිරිසක් අල්ලා ගනිමින්. ඒ අය කොටින්ට, ව්‍යාඝ්‍රයින්ට ආහාරයට දී පණ පිටින් මිනිස්සු, ලවා මහා දැවැන්ත ආක්‍රමණිකයන් රටවල් ජයග්‍රහණය කරපු අය “යං වේර පසවති” ජයග්‍රහණය තුළ වෛරක්කාරයන් බිහිවන බව බුද්ධ දේශනාවයි. “දුක්ඛයීසේතිපරාජිතෝ” පැරැදුනු අය වේදනාවෙන් පසුවේ. වෙරයක්කාරයන් හදා ගැනීම හෝ පරජිතිව වේදනාවෙන් සිටින පිරිසක් ඇතිකර ගැනීමවත් මේ මානුෂීය මෙහෙයුමේ අරමුණ වූයේ නැත. මේ ජයග්‍රහණය පොදුවේ මනුෂ්‍යත්වයයේ ජයග්‍රහණයකි. මෙය අද පවත්නා තත්වය අනුව කල්පනා කරන විට සැබැවින්ම යුද්ධය තුළ ජයග්‍රහණයක් තිබේද? යුද්ධයේ තිබෙනුයේ පරාජයක් පමණි. එය මුළු මනුෂ්‍යත්වයේම පරාජයකි. සිංහල මිනිසුන්ටත් ඒ පරාජය ද්‍රවිඩ මිනිස්සුන්ටත් ඒ පරාජය. යුද්ධය තුළ යමෙක්ද පීඩාවට පත්වූයේ ඒ හැම පරාජයට පත්විය. ඒ නිසා එය ජයග්‍රහණයක් නොව පරජය අවම කර ගැනීමට එය සිදු කෙරුණි. එබැවින් එය නැවත ජයග්‍රහණයක් කරා රැගෙන යාමට මේ හරහා පළුදු වූ මනුෂ්‍යත්වයට අප සාධාරණයක් ඉටු කළයුතුය. යුද්ධය හරහා පළුදු වූ මනුෂ්‍යත්වයට සාධාරණය ඉටු නොකරනවා නම් එය විශාල හානියකි. ලෝකයේ කවදාවත් නොකරපු ආකාරයට අපේ මුතුන් මිත්තන් කටයුතු කළේ. අප දන්නා පරිදි එළාර රජතුමා මිය ගියාට පසු එතුමා වෙනුවෙන් ප්‍රභාකරන් මෙන් විනාශකාරයෙක් නොවුයෙන් එතුමා ධාර්මික අයුරින් කටයුතු කළ අයෙකි. අපේ රටේ එදා පැවැති බුද්ධ ශාසනයති සිංහල ජාතියක් බේරාගැනීම සඳහා දුටුගැමුණු මහා රජතුමා පෙරමුණ ගත්හ. එළාර රජතුමාගේ අභාවයෙන් පසු නැවත නැවතත් මිය ගිය එළාර මර මරා නොසිටියහ.මිය ගිය එළාර රජතුමා වෙනුවෙන් ස්මාරකයක් පවා ඉදි කරවූහ.අනතුරුව සිංහල හා ද්‍රවිඩ කණ්ඩායම් එකමුතු වූහ. අවුරුදු දහස් ගණනක ඉදිරි ගමනක් ඇත. අදත් එය නැවත සිදු කිරීමට සිදුව තිබේ. ඒ නිසා යුද්ධයක ජයග්‍රහණය ලබා කණ්ඩායමක් දිනා කණ්ඩායමක් පරාජය කිරීම නොව සඳහිරු සෑයෙන් අර්ථවත් කරෙනුයේ එය මනුෂ්‍යත්වය වෙනුවෙන් මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් ලෙස අපිට දැකිය හැකිය.

ස්ථූපයෙන් පිළිබිඹු වන බෞද්ධ සංස්කෘතික ලක්ෂණ

මහාචාර්ය 
දේවාලේගම 
මේධානන්ද හිමි

බුදුරජාණන් වහන්සේ සැබැවින්ම මැ චාම් සරල දිවි පෙවෙතක් ගත කළහ. රස මසවුලෙන් පිරි රස නහර පිනවන මිහිරි බොජුන් සොය සොයා යන ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ නීරස, කටුක පිඬුසිඟා ගත් ආහාරයෙන් වුවද සතුටු වූහ. රන් සළු, කසී සළු සොය සොයා යන මිනිසුන් අතර උන්වහන්සේ අමු සොහොනින්, පස්කුලින්ගෙන් සකසා ගත් කසාවතින් වුවද සතුටු වූහ. සුවිසල් මහ මැදුරු ද, සුව යහන් ද සොය සොයා යන ලෝකයෙහි උන්වහන්සේ රුක් මුල්, පර්වත, වන ආරාම, කඳුරැළි, පිදුරු ලෙන් වුව ද නිවහන් කොට ගෙන සතුටු වූහ. මේ වූ කලී බුදුරදුන්ගේ චාම් දිවි පැවැත්ම සැකෙවින් කී සැටිය. බුදුදහම අඩු බලාපොරොත්තු ඇති චාම් දිවි පැවැත්ම වෙසෙසින් අගය කරයි
ස්ථූපය වනාහි බෞද්ධ කලාකරුවාගේ උසස් නිමැවුමකි. එය බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රමුඛ සංකේතයක් ද වේ. බුද්ධ චරිතයෙහි මෙන් ම, බෞද්ධ ජීවිතයෙහි ද විශිෂ්ට ලක්ෂණ අපේ ස්ථූපයක මැනවින් පිළිබිඹු වෙයි. චාම් බව, පවිත්‍රත්වය, විවෘත බව, ක්‍රමානුකූලත්වය, නොගැටෙන සුළු බව හා අනුවර්තනීය ගුණය ද මෙහි ලා වෙසෙසින් මැ සඳහන් කළ යුතු ය. මෙකී ලක්ෂණ බුදුරජාණන් වහන්සේ සිය ජීවිතයෙන් ආදර්ශ කොට දැක්වූහ. උන්වහන්සේගේ ධර්මයෙහි ද මේ සියලු ගුණ නොඅඩුවැ අගය කොට තිබේ. බුදුරදුන් ද ධර්මය ද අනුව සැකසුණු බෞද්ධ සංස්කෘතියෙහි මෙකී විශිෂ්ට ලක්ෂණ සජීවී වැ පැවතිය යුතු ය.
ස්ථූපය වූ කලී චාම් කලා නිර්මාණයකි. එය විචිත්‍ර වර්ණෝපශෝභනයෙන් හා අනේකවිධ වූ සැරසිල්ලෙන් ද තොර වෙයි. එය සැබැවින් ම සරලය, පෙරදිග ලෝකයෙහි මැ උපන් ආගමික පදනමක් ඇති ඇතැම් අබෞද්ධ කලා නිර්මාණ හා සසඳන විට ස්ථූපයෙහි ඇති චාම්, සරල බව වඩාත් කැපී පෙනෙයි. බුදුරජාණන් වහන්සේ සැබැවින්ම මැ චාම් සරල දිවි පෙවෙතක් ගත කළහ. රස මසවුලෙන් පිරි රස නහර පිනවන මිහිරි බොජුන් සොය සොයා යන ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ නීරස, කටුක පිඬුසිඟා ගත් ආහාරයෙන් වුවද සතුටු වූහ. රන් සළු, කසී සළු සොය සොයා යන මිනිසුන් අතර උන්වහන්සේ අමු සොහොනින්, පස්කුලින්ගෙන් සකසා ගත් කසාවතින් වුවද සතුටු වූහ. සුවිසල් මහ මැදුරු ද, සුව යහන් ද සොය සොයා යන ලෝකයෙහි උන්වහන්සේ රුක් මුල්, පර්වත, වන ආරාම, කඳුරැළි, පිදුරු ලෙන් වුව ද නිවහන් කොට ගෙන සතුටු වූහ. මේ වූ කලී බුදුරදුන්ගේ චාම් දිවි පැවැත්ම සැකෙවින් කී සැටිය. බුදුදහම අඩු බලාපොරොත්තු ඇති චාම් දිවි පැවැත්ම වෙසෙසින් අගය කරයි. එවන් දිවි පැවැත්මෙක අගය නැවත නැවතත් මතුකොට දක්වයි. කරණීයමෙත්ත සූත්‍රයෙහි එන සන්හුන් ඉඳුරන් ඇති බවය, ලද දෙයින් සතුටු වීම ය, පහසුවෙන් පෝෂණය කළ හැකි බවය, කාර්යබහුල නොවීම ය, සැහැල්ලු පැවැත්ම ය යන ගුණාංගයෝ වෙසෙසින් ම චාම් ජීවිතය අගයන, එයට මඟ පෙන්වන එක් බුදු වදනක් පමණි. ස්ථූපය වන්දනා කරන එයට පුද පෙළහර කරන බෞද්ධයාට එම පූජනීය සංකේතය නිහඬව මැ මේ පාඩම උගන්වයි. අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ දිග ඉතිහාසය පුරා කිරි බුබුලු සේ ගම් දනව්හි තැණුනු ස්ථූප මෙම උසස් ආදර්ශය නැවත නැවතත් හඬ ගා කියනු වැන්න.
පවිත්‍රත්වය ද ස්ථූපයෙහි කැපී පෙනෙන ලකුණකි. එය සුදෝසුදු ය. පිරිසුදු ය. බුදුරදුන්ගේ සන්තානය වැන්න. එතුමන්ගේ නිකැලැල් පිරිසුදු දිවි පැවැත්ම වැන්න. කෙලෙස් මලින් දූෂිත නොවූ, අවිද්‍යාවෙන් අන්ධකාර නොවූ බුදුරජාණන් වහන්සේ සුසුද්ධ සන්තාන ඇති එබැවින් ම ගෞරවයට නිසි උතුමෙකු වූහ. සිය සිත පවිත්‍ර කරගැන්මේ අවශ්‍යතාව බුදු බණෙහි නැවත නැවතත් උගන්වා තිබේ. ආගන්තුක වූ උපක්ලේශ ධර්මයෙන් අපවිත්‍ර වූ, සිත් ඇති බව යථාවබෝධයට බාධක වන සැටි ඉගැන්වූ තැන් බොහෝ ය. වත්ථූපම සූත්‍රය ඉන් එක් තැනක් පමණි. ස්ථූපය ඉතිහාසය පුරා මැ බාහිර අභ්‍යන්තර පවිත්‍රභාවය පිළිබඳ ආදර්ශය අපට සපයා තිබේ. සිත ද, කය ද, වදන ද පිරිසුදු විය යුතු බැව් උගන්වන පිරිපුන් චිත්ත පාරිශුද්ධය වූ නිවනට මැ මඟ පෙන්වන බුදුදහමත්, බුදු සිරිතත් ස්ථූපය තුළ මූර්තිමත් වැ තිබේ.
ස්ථූපය විවෘත කලා කෘතියකි. සමස්තයක් වශයෙන් වැව් ඉස්මත්තේ බෙහෙවින් මැ විවෘත වූ වටාපිටාවෙක ම එදා අපේ පැරණි ස්ථූප ගොඩනගා තිබේ. ඇතැම් පෙරදිග ආගමික මූර්ති බෙහෙවින් මැ ගුප්තය, සංවෘත ය, එළිමහනෙක, මහ මළුවෙක අහස උසට විහිදී ගිය අපේ ස්ථුපය විවෘතය. මෙය ද සැබැවින් ම උතුම් බුදු ගුණයෙකි.
බුදුදහමෙහි ද එන උසස් උපදේශයකි. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. තමන් වහන්සේගේ මානසික චර්යාවන් ශ්‍රාවකයන්ට ප්‍රකට නොවන නමුත් කායික හා වාචසික චර්යාවන් ප්‍රකට බැවින් ඒවා පිළිබඳ ව විමසුම්ශීලී වන්නැයි උන්වහන්සේ විමංසක සූත්‍රයෙහි වදාළහ. එහි සැබෑ අරුත නම් බුදු සිරිත විවෘත වූ බවය. තමන් වහන්සේ ගැන වුවද අවිචාරවත් අන්ධ භක්තිය ඇතිකර ගැන්මට උන්වහන්සේ අනුබල නුදුන් බව ය. බුද්ධ ධර්මය ද විවෘත ය. එය විවෘත වූ කළ මැ බබලන බවත් වැසුනු කළ නොබබලන බවත් පෙන්වා දී තිබේ. එව බලව යනු දහම් ගුණයෙකි. (ඒහිපස්සික). දේව රහස්, ගුරු මුෂ්ටි බුදු බණෙහි නැත. එය ජීවිතයේ ඇති තතු දක්වයි. විවෘත චර්යාවත්, නිදහසත් ප්‍රකට කරන කදිම ප්‍රකට නිදසුනයි. අපේ ස්ථූප නිහඬව මැ මේ බුදු ගුණත්, බුදු බණත් අප වෙත ගෙන එයි.
ස්ථූපය වනාහි ඉතා ක්‍රමවත් ව සකස් වූ කලා නිර්මාණයක් වේ. අනු පිළිවෙල එහි කැපී පෙනෙයි. පළමුව පදනම ය. ඒ මත අටපට්ටම් ආසනයයි. ඒ මත කෙමෙන් වට ප්‍රමාණයෙන් කුඩා වන පේසා වළලු තුනකි. ඒ සමඟ ම ගර්භයයි. ගර්භය මත සතරැස් කොටුව ය. ඒ මත එයටත් මඳක් කුඩා වූ දේවතා කොටුවයි. ඒ මත අනුක්‍රමයෙන් සිහින් වැ ගිය කැරලි ඇති කොත් වහන්සේ ය. එහි කෙළවර කොත ය. මහ පොළොව බදාගෙන ඇරඹෙන ස්ථූපය කෙමෙන් කෙමෙන් කුඩා වෙයි. ඉතා කුඩා තිතකින් හිස් අහසට විවෘත ව එය කෙළවර වී තිබේ. සීලය, සමාධිය, ප්‍රඥාව යන බෞද්ධ ශික්ෂාවන් පුරන්නේ අනුක්‍රමයෙන් සිහින් වන ආසාවන් ඇත්තේ ය. අනුක්‍රමයෙන් ලෝකයෙන් නිදහස් වන්නේ ය. බුදුදහම අනුපූර්ව ශික්ෂාවකි. අනුපූර්ව චර්යාවකි. අනුපූර්ව ප්‍රතිපදාවකි. බුදු සිරිතෙහි ද මෙකී අනුක්‍රමික බව බෝසත් අවදියේ පටන් මැ පෙනේ. බුදුරදුන්ගේ දින චරියාව, උන්වහන්සේගේ දේශනා රටාව, ශ්‍රාවකයන් හික්මැවූ පිළිවෙල යනාදී මේ සියල්ලෙහි ම අනුපිළිවෙල දැකිය හැකි ය. අනුක්‍රමයෙන් සිහින් ව එහෙත් උස් වැ යන ස්ථූපය බෞද්ධ පිළිවෙත සංකේතවත් කරයි. මෙලොව ලෞකිකත්වය වැළඳගත් මිනිසා බුදු බණෙහි නිරත ව කෙමෙන් සිහින් වන තණ්හාව ඇතිව උසස් තැනට යන සැටි ද, නිවනින් විමුක්තිය පසක් කොට සසරින් මිදෙන සැටි ද ස්ථූපය අර්ථවත් කරයි.
මහ වෙහෙර අනුවර්තනීය ලකුණින් හෙබි කලා නිමැවුමෙක් ද වේ. එය චාම් බව ද, පවිත්‍ර බව ද, විවෘත බව ද, ක්‍රමවත් බව ද ආත්ම කොටගත් බැවින් පරිසරය සමඟ මැනවින් එක්වීමට සමත් ය.
පරිසරය සමඟ ගැටී එය නසාලන රළු නිමැවුමක් ලෙස කවර හැටියෙකින්වත් ස්ථූපය හැඳින්විය හැකි නොවේ. එය පරිසරය ශෝභාමත් කරයි. මිනිස් සිත් පුබුදුවයි. සිත්සතන්හි රළු බව ද නසාලයි. මහ සෑ මළුවෙහි හිඳ නෙත් පුරා සෑ රදුන් දක්නා බොදුනුවන් සිත් සැදැහැයෙන් පුරවාලයි.
බාහිර පරිසරයට මෙන් ම ආධ්‍යාත්මික පරිසරයට ද හානි නොකරන ස්ථූපය පරිසරය පෝෂණය කරයි. අලංකාර කරයි. නොගැටෙන සුළු බව බුදු සිරිතෙහි ද උසස් මැ ගුණයෙකි. බුදු බණෙහි ද ඉගැන්වෙන අගනා උවදෙසකි. විවිධ දෘෂ්ටිවාද හිසින් ගෙන එකිනෙක සමග වාද වශයෙන් ගැටුණු මහණ බමුණන් පිරුණු යුගයක උපන් බුදුරජාණන් වහන්සේ න්‍යායාත්මක ව ද, ප්‍රායෝගික ව ද මධ්‍යම ප්‍රතිපදාව ම වදාළහ. අනුගමනය කළහ. එබැවින් නොගැටෙන සුළු වූහ. මැදුම් පිළිවෙතේ පිහිටි බැවින් ගැටුමට හේතු නොවිණි. ශ්‍රාවකයනට වදාළ උවදෙස එය මැ වූයේ ය. උස් අහසට විහිද කිසිවක නොගැටී කෙළවර දක්නා ස්ථූප ද සියලු සසර ගැටුම් හැරපියා මැදුම් පිළිවෙතින් සසර කෙළවර දක්නා බෞද්ධ ජීවිතය සංකේතවත් කරයි.

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.