සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

බුදු ගුණ ඔප කළ පිළිම කලාව

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති , ධර්මවේදී
පූජ්‍ය නාලන්දේ විමලවංශ නාහිමි

බෞද්ධ කලා ශිල්ප අතර ඉතා උසස්‌ නිර්මාණයක්‌ වශයෙන් බුදු පිළිම නිර්මාණය හැඳින් විය හැකි ය. බුද්ධත්වය වශයෙන් සැලකෙන්නේ බුදුන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව දියුණු කිරීමයි. බෞද්ධ කලා ශීල්පීන් බුදු පිළිම නිර්මාණයේ දී මෙම කරුණු සැළකිල්ලට ගෙන ඇති බව පෙනෙයි. සමන්තපාසාදිකාවේත් , මහාවංසයේත් සඳහන් පරිදි ' මහකෙල ' නාග රාජයා විසින් ධර්මාශෝක නිරිඳුන්ට දක්‌වන ලද බුදු පිළිමයේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණ අන්තර්ගත විය. එසේම අසීත්‍යනුබ්‍යඤ්ජන ලක්‌ෂණ , බ්‍යාමප්‍රභා , කේතු මාලා සහ තවත් අනුබ්‍යඤ්ජන වලින් සමන්විත විය. 
බුදු පිළිමයේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී බොහෝ දෙනා පවසන්නේ දඹදිව ගන්ධාර දේශයෙන් එය ආරම්භ වූ බවයි. එහි රජකළ කණිෂ්ක රජතුමා විසින් බුදුරුව තම කාසිවල සටහන් කළ බව පෙනෙයි. බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රතිමා ඉදිකිරීම ගැන සඳහන් කර නැත. උන් වහන්සේ දේශනා කළේ ''යෝ ධම්මං පස්‌සති සෝමං පස්‌සති' ''යමෙක්‌ ධර්මය දකියි ද හෙතෙම මා දකියි.'' - ' කිංතේ ඉමිනා පූතිකායෙන දිට්‌ඨෙන? '' 'මෙම පිළිකුල් සහගත සිරුර දැකීමෙන් ඇති ඵලය කිම?' යනුවෙනි. මුල් යුගයේ කලා කරුවන් කල්පනා කළේ බුදු පිළිම නිර්මාණය කිරීම උන් වහන්සේට කරන අගෞරවයක්‌ වශයෙනි. ඒ නිසාම බුදු පිළිම වෙනුවට ධර්ම චක්‍රය, සිරිපතුල, ස්‌ථූපය, වජ්‍රාසනය, ස්‌වස්‌ථිකය , වැනි සංඛෙත භාවිතා කළහ. සාංචි, භාරුත් වැනි කැටයම්වල ඒ බව දිස්‌ වෙයි. පාහියං , හය්‍යුංසාං වැනි දේශාටකයන්ගේ වර්තා වැනි සාහිත්‍යය මූලාශ්‍ර වල ක්‍රි. පූ . 6 වන සිය වසට පෙර පිළිම තිබූ බව සඳහන් වෙයි.අශෝක රජ තුමා 'මහකෙල' නම් නාග රාජයකු ලවා පිළිමයක්‌ කරවූ බව සඳහන් වෙයි. මහාචාර්ය ගුණසිංහ , නන්දදේව විෙ-සේකර , ඩී. ටී. දේවේන්ද්‍ර වැනි වියතුන් බුදු පිළිම කලාව ලංකාවේ ආරම්භ වූ බව සඳහන් කරති. එහෙත් ප්‍රකට පුරා විද්‍යාඥයකු වන සෙනරත් පරණවිතාන ශූරීන් පවසන්නේ ඉන්දියාවේ ගන්ධාර , මථුරා වැනි ප්‍රදේශවල බුදු පිළිම කලාව ආරම්භ වූ බවයි. එම සම්ප්‍රදායයන් සංකලනයවී දක්‌ෂිණ දේශයේ ආන්ද්‍ර හෙවත් අමරාවතී සම්ප්‍රදාය අනුව ලංකාවේ පිළිම කලාව ආරම්භ වන්නට ඇතැයි ඔහු පවසයි. එසේම තවත් ප්‍රකට ඉතිහාසඥයකු වූ ආනන්ද කුමාරස්‌වාමි පවසන්නේ ද බුදු පිළිම නිර්මාණය ඉන්දියාවේ ආරම්භ වූ බවයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ බුදු පිළිමයක්‌ නිර්මාණය වූවාද යන්න පිළිබඳ ඇතැම් විද්වතුන් අදහස්‌ පළ කරති. ' කෝසලබිම්බ වර්ණනාව' නමැති ග්‍රන්ථයේ එවැන්නක්‌ සඳහන් වේ. බුදුහිමියන් තව්තිසා දෙව් ලොව වස්‌ වැසීමට වැඩම කළ පසු උන් වහන්සේ වෙනුවට ප්‍රතිමාවක්‌ ඉදිකර ගැනීමට කොසොල් රජතුමා අදහස්‌ කළේය. එම කරුණ මුගලන් රහතන් වහන්සේට දැන්වූ පසු උන් වහන්සේ තම රද්ධි බලයෙන් තව්තිසා දෙව් ලොවට ශිල්පීන් යවා බුද්ධ රූපයේ ආකෘතියක්‌ ගෙන්වා ගෙන සඳුන් අරටුවකින් බුදු පිළිමයක්‌ කරවූහ. රජ තුමා එයට පුද පූජා කළ බව සඳහන් වෙයි. කොසොල් රජු යළි එය රනින් කළ බවත්, 7 වැනි සියවසේ එය තමන් දුටු බවත් හිය්‍යුංසාං සඳහන් කරයි.
කෙසේ වෙතත් අශෝක අධිරාජයාගේ සමයෙහි මිහිඳු හිමියන් සමග දහ අට ශ්‍රේණියක කලා ශිල්පීන් ලක්‌දිවට පැමිණි බව ලක්‌ ඉතිහාසයෙහි සඳහන් වෙයි. ඔවුන් 'ශාරිපුත්‍රය' මංජුශ්‍රී චිත්‍රකර්ම ශාස්‌ත්‍රය, ආලේඛණ ලක්‌ෂණ වැනි ග්‍රන්ථ ආශ්‍රයෙන් බුදුපිළිම නිර්මාණය කළ බව සිතිය හැක. දෙවනපෑතිස්‌ රජු ථූපාරාමයෙහි බුදු පිළිමයක කළ බව මහාවංසය පවසයි. දුටුගැමුණු රජ තුමා ද රුවන්වැලි මහ සෑයෙහි රනින් සහ මැණික්‌වලින් අලන්කෘත බුදු පිළිමයක්‌ කළ බව එහිම සඳහන් වෙයි. භාරතයෙහි බුදු පිළිමවලට වඩා ලාංකික බුදු පිළිම කලාත්මක්‌ බවෙන් සහ එහි ඇතුළත් විය යුතු ආධ්‍යාත්මික ගුණාංගයන් ගෙන් සමන්විතය. භාරතීය බුදු පිළිම වැඩි වශයෙන් නිර්මාණය වූයේ වැඳුම් පිදුම් කිරීමට නොව සෞන්දර්ය සඳහා ය. ලාංකික බුදු පිළිමය වැඳුම් පිදුම් සඳහාම නිර්මාණය විය. ඒ නිසාම ලාංකික බුදු පිළිමය ආධ්‍යාත්මික ලක්‌ෂණවලින් යුතුව , ලෝකෝත්තර ගුණවලට හානි නොවන සේ ශීල, සමාධි, ප්‍රඥා, මහා කරුණා ආදී අපරිමිත ගුණස්‌කන්ධයන් අන්තර්ගත වන සේ නිම කිරීමට ලාංකික කලා කරුවා උත්සාහ ගත්තේ ය. 
පිළිම නිර්මාණ කරණයේ දී එකම ආකාරයට නොදක්‌වා , විවිධ මුද්‍රාවන්ගෙන් නිර්මාණය කළහ. එම මුද්‍රාවන් මගින් දැක්‌වීමට උත්සාහ කළේ බුදු හිමියන්ගේ අනන්ත බුදු ගුණයන්ය. බණ පොත් රැසකින් කිව යුතු කරුණු එම මුද්‍රා මගින් සමාජයට ලබා දුන්හ. මෙම පිළිම නෙළීම පිළිබඳ සවිස්‌තරාත්මක කරුණු ක්‍රි. ව. පස්‌වැනි සිය වස වන විට පොත් පත් වල ලියවී ඇත.එහෙත් එයට පෙර පිළිම නිර්මාණය පිළිබඳ මුඛ පරම්පරා ගත නීති රීති තිබුණි. පිළිම නෙළීම පිළිබඳ ඉගැන්වෙන ග්‍රන්ථ අතර , 1. මානසාර 2. වෘහත්සංහිතාව 3 . ශූක්‍රනීතිය 4 . පටිමාමාන ලක්‌ෂණ 5 . චිත්‍ර ලක්‌ෂණම් 6. බුද්ධභාෂිත පටිමාලක්‌ෂණම් 7. ශාරිපුත්‍රය 8 . මංජුශ්‍රීවාස්‌තු විද්‍යාව 9 . රූපාවලිය 10 . වෛජයන්තය වැනි ග්‍රන්ථ ප්‍රධාන වෙයි. මූර්ති ශිල්පයට අයත් මූල ධර්ම හයක්‌ පෙර සිට පැවත එන ලදී. ඒවා ' ෂඩංගය ' යනුවෙන් හැඳින් වෙයි. එම ෂඩංගය නම් ,

1. රූපභේද - ප්‍රතිමා වල බාහිර ලක්‌ෂණ සහ එක්‌ එක්‌ ප්‍රතිමාවලට අයත් විශේෂ ලක්‌ෂණ
2 .ප්‍රමාණ - සමානුපාතික ලක්‌ෂණ ගැන දැනුම 
3 . භාව - පිළිම වලින් දැක්‌විය යුතු හැගීම් ගැන ශිල්පීන් තුළ තිබිය යුතු දැනුම
4. ලාවන්‍යයෝග - කලාත්මක බවත් , සෞන්දර්යාත්මක බවත් මුසු කිරීමේ හැකියාව
5. සාදෘශ්‍යය - ජීවමාන බව එනම් පිළිමයත් එයින් පෙන්නුම් කළ පුද්ගලයාත් අතර වෙනසක්‌ නොවීම
6 . වර්ණිකා භේදය - නිවැරදි වර්ණ සහ ඒවාට අදාළ තෙළි කූරු (පින්සල් ) භාවිතය ගැන දැනුම 

පිළිමයක්‌ ඉදි කිරීමේ දී ශාරීරික ලක්‌ෂණ සහ ඒ ආශ්‍රීත වෙනත් ලක්‌ෂණ එනම් ඉරියව් , මුද්‍රා , ආසන , ඇඳුම් , චීවර , සංඛෙත, වාහන , රැස්‌ වලලු ආදිය රූප වශයෙන් සලකයි. පිළිමයක්‌ ඉදි කිරීමේදී සම්මත මිනුම් ක්‍රම ඇත. මනුෂ්‍ය රූපයෙහි නම් මුහුණ මෙන් අට ගුණයක්‌ උසින් විය යුතු ය. බුදු පිළිමයක නම් මුහුණ මෙන් නව ගුණයක්‌ උස්‌ විය යුතු ය. මෙම ක්‍රමය ' තාලමාන ' නොහොත් ' බිම්බමාන ' වශයෙන් ද හඳුන්වයි. පිළිමයකින් කිසියම් හැඟීමක්‌ පිළිබිඹු විය යුතුය. එහිදී මුහුණ ප්‍රධාන වෙයි. අදාළ අයගේ චරිතය , ගුණාංග, මුහුණෙන් නොදැක්‌වේ නම් එය අසාර්ථක නිර්මාණයකි. එසේම වර්ණ මගින් පිළිමයේ හැඟීම් ද්වනිත කළ හැකි ය. එනම් ප්‍රීතිමත් බව දැක්‌වීමට දීප්තිමත් වර්ණත්, දුක දැක්‌වීමට අඳුරු වර්ණත් උපයෝගි කර ගනියි. කිසියම් රටාවකට තෙළිතුඩ භාවිතා කර රූපය ඉස්‌මතු කිරීම ' වර්ණිකාෙරීධය ' වශයෙන් සැලකෙයි. පුද්ගලයකුගේ රූප කාය ඒ අයුරින්ම පිළිබිඹු කිරීම ' සාදෘෂ්‍යකරණය' වශයෙන් සැලකේ. 
බුදුපිළිම නෙළීමේදී ප්‍රධාන වශයෙන් ඉරියව් තුනක්‌ ඇත. එනම් හිඳිපිළිමය, හිටි පිළිමය, ඔත් පිළිමය යන ඉරියව් තුනයි. හිඳි පිළිමය මගින් බුද්ධත්වය, භාවනා කිරීම, ධර්ම දේශනා කිරීම යන අවස්‌ථා නිරූපණය වෙයි. හිටි පිළිමය අභංග, සමභංග, ත්‍රිභංග, අතිභංග යනුවෙන් හතර ආකාර වෙයි. අභංග යනු මඳක්‌ නැමී සිටින ආකාරයයි. ත්‍රිභංග යනු හිස, කොන්ද, දණහිස මදක්‌ නැමී සිටින ආකාරයයි. අතිභංග යනු ත්‍රිභංගයේම වෙනස්‌ තත්ත්වයක්‌ වශයෙන් සැළකෙයි. ඔත් පිළිමය නම් බුදුන් වහන්සේගේ සැතපීම, පිරිනිවීම දැක්‌වීම යි. බුදුගුණ... 09 පිටුවෙන්...
මේවා 'සිංහසෙය්‍යාවෙන්' දක්‌වා ඇත. එනම්, දකුණු ඇලයට හැරී දකුණු අත්ල මත හිස තබා, දෙපා රුජුව තබා, නිදා ගැනීමයි. පිරිනිවීම දක්‌වන පිළිම වල විලුඹ දෙක සමානව දක්‌වන අතර, සැතපෙන පිළිම වල එක්‌ විලුඹක්‌ මදක්‌ ඉදිරියට එන සේ නිර්මාණය කරයි. 
පිළිම නෙළීමේ දී මුද්‍රාවන් ප්‍රධාන තැනක්‌ ගනියි. මුද්‍රා අතර ධර්මචක්‍ර මුද්‍රාව , ධ්‍යාන මුද්‍රාව, විතර්ක මුද්‍රාව, අභය මුද්‍රාව, වරද මුද්‍රාව, භූම් ස්‌පර්ෂ මුද්‍රාව ප්‍රධාන වෙයි. මේවාට අමතරව ස්‌වස්‌ථික මුද්‍රාව, පරදුක්‌ඛ දුක්‌ත මුද්‍රාව, ජානුහත්ථ මුද්‍රාව, ප්‍රතිග්‍රහ මුද්‍රාව වශයෙන් බුදු පිළිම නෙලා ඇත. මුද්‍රාවන් මගින් බුදු ගුණ විදහා දක්‌වයි. බොහෝ විට බුදු පිළිම නෙළුම් මලක වෘත්තාකාර කර්ණිකාව මත වැඩ හිඳින අයුරෙන් නිර්මාණය කර ඇත. මෙය ' පද්මපීඨ ' වශයෙන් හැඳින්වේ. විළුඹ උඩු අතට හැරී ඇති අයුරින් වම් පාදය මත දකුණු පාදය තබා වැඩ හිඳින පිළිමය 'වීරාසනය' නමින් හැඳින්වෙයි. එසේම 'පද්මාසනය' භද්‍රාසනය, වජ්‍රාසනය වශයෙන් හිඳගන්නා ක්‍රම කිහිපයක්‌ ඇත. 
පිළිම නිර්මාණයේ දී මහා පුරුෂ ලක්‌ෂණ තිස්‌ දෙකක්‌ ඇතුළත් කිරීමට කලාකරුවා උත්සාහ කරයි. එයට අමතරව අසූවක්‌ අනුභ්‍යඤ්ජන ඇත. එසේම භ්‍යාම ප්‍රභා වශයෙන් බුද්ධ රශ්මිය නිර්මාණය කරයි. මෙම රශ්මිය ඇතැම් පිළිම වල සිරුර පුරාමත්, ඇතැම් පිළිමවල හිස වටා කවාකාරවත් දක්‌වයි. හිස මුදුනත 'කේතුමාලාව ' දිස්‌ වෙයි. මෙය 'සිරස්‌පත' යනුවෙන් ද හඳුන්වයි. මුඩු හිස මුදුනෙහි ගොළුබෙල්ලෙකු ආකාරයෙන් හෝ ශිඛාකාරයෙන් ද කේතුමාලාව නිරූපණය කරයි. කේතුමාලාව ' රංසිචූලාමණී ' යනුවෙන් ද හඳුන්වයි. සෙල්මුවා පිළිමවල වර්ණ ආලේපනය නොකරයි. වෙනත් බදාම වලින් නිර්මිත පිළිමවල වර්ණ ආලේප කරයි. වර්ණ සඳහා දේශීය ස්‌වාභාවික දෙය උපයෝගි කර ගනියි. ප්‍රධාන වශයෙන් නිල්, රතු, කහ, කළු වර්ණ යොදාගෙන ඇත. මහනුවර යුගයේ රත්‍රං පැහැය ද උපයෝගී කරගෙන ඇත. සුදු පැහැය මකුලු පස්‌වලින් ද ඇතැම් විට හුණු ගල් පිළිස්‌සීමෙන් ද ලබාගෙන ඇත. කලු පැහැය ලබා ගැනීම සඳහා කොහොල්ලෑ, කැකුණ තෙල්, හල්දුම්මල, කපු රෙදි කැබලි සමග මිශ්‍ර කර, මැටි බඳුනක දමා තවත් බඳුනකින් වසා ගින්නේ පැසවයි. වසන ලද බඳුනෙහි දැලි එකතු වෙයි.
මෙම දැලි තෙල් ගතිය නිසා මැලියම් විශේෂයක්‌ ද එක්‌ කර ගනියි. කළු පැහැය ලබා ගැනීමට තවත් ක්‍රමයක්‌ තිබුණි. එනම් බදුල්ල කිරි, කැප්පෙටියා, ලාකඩ, හල්දුම්මල, පරණ කොහොල්ලෑ එක පමණ ගෙන උණු කිරීමෙනි. එසේම පොල් කටු අඟුරු කුඩු කර සියුම් රෙදි කැබැල්ලකින් හලා ගැනීමෙන් ද කළු පැහැය ලබා ගන්නා ලදී. 
රතු පැහැය ලබා ගත්තේ ගුරු ගල් කුඩු කර ගැනීමෙනි. පසු කාලයෙහි ඉන්දියාවෙන් 'සාදිලිංගම්' ගෙන්වා රත් මල් පොතු යුෂ සමග මිශ්‍ර කර, සකස්‌ කර ගන්නා ලදී. ගොකටු ගස්‌වලින් කහ පැහැය ලබාගන්නා ලදී. එම ගස තුවාල කර වැගිරෙන කිරි එකතු කර ගෙන ඒවා උණු කර ගනියි. නීල වර්ණය සඳහා නිල් අවරිය කොළ උපයෝගී කර ගන්නා ලදී. කොළ පාට සකස්‌ කර ගත්තේ අගුණ, මිදෙල්ල, රණවරා, යන කොළ වර්ගවලින් ය. මෙම සායම් වර්ග චිරාත් කාලයක්‌ දුර්වර්ණ නොවී පැවතීම සඳහා නිවැරදි තාක්‌ෂණික ක්‍රම උපයෝගි කර ගන්නා ලදී. මෙම මිශ්‍රණයන් දිවුල් මැලියම් සමග එක්‌ කර ගල් වංගෙඩියේ අඹරා ගනිති. මේ සඳහා 'දොරණ' නම් ගසෙහි තෙල් ද උපයෝගි කර ගනිති. 
පිළිම සායම් කිරීමේ දී තෙලි තුඩ නොහොත් පිංසල භාවිතා කළහ. සත්ත්ව ලොම්, ගස්‌ වල මුල්, තෘණ වර්ග, සහ මල් රේණු වැනි දෙය පිංසල සඳහා උපයෝගි කර ගත්හ. ලේන, බළල් වැනි සතුන්ගේ ලෝම, වැටකේ මුල් සහ එම මල්, තුත්තිරි සහ වෙනත් ශාක වර්ගවලින් පිංසල් සකස්‌ කර ගත්හ. මේ අයුරින් දේශීය ක්‍රමවේද අනුව වර්ණ ගැන් වූ පිළිම, සිතුවම් වසර දහස්‌ ගණනක්‌ ඒ අයුරින්ම පැවැතීමත්, එම නැවුම් සුවඳ එලෙසම පැවතීමත් පුදුම සහගතය. 
බුදු පිළිමයක්‌ නිර්මාණය කිරීමේ දී ප්‍රධානම චාරිත්‍රය වන්නේ නේත්‍රා මංගල්‍යයයි . නැකත් බලා සුභ මොහොතින් එය සිදු වෙයි. නෙත් තබන ශිල්පියා පිරිසිදුව, සීලයෙහි පිහිටා, කිලි කුණු වලින් වැළකී එම කාර්යය කළ යුතුය. නෙත් තබන දිනට පෙර දින නවග්‍රහයන් සඳහා පූජාවක්‌ තබයි. අපල උපද්‍රව දුරු කර ගැනීමට මෙම වත් පිළිවෙත් කරයි. පිළිමයෙහි මුහුණ එක එල්ලේ නොබලා, ඉදිරියෙහි කැඩපතක්‌ තබාගෙන එමගින් නෙත් තැබීම කරයි. ඔහු සුදු වස්‌ත්‍රයකින් මුහුණ වසාගෙන කිරි සහිත ගසක්‌ අසළට ගොස්‌ ආයුධයකිsන් ගස තුවාල කර එම කිරි දෙස බලයි. එසේම එළ ගවයකුගේ ඇඟ ස්‌පර්ෂ කරයි. එම ගවයා පිරිමි සතකු විය යුතු ය. මෙම සියල්ල කළේ වස්‌ වැදීමෙන් වැළකීම පිණිස ය. නිසි පරිදි මෙම කටයුතු සිදු නොකළහොත් ශිල්පියාටත්, විහාරාධිපතීන් වහන්සේටත්, දායක දායිකාවන්ටත් අනිටු පලවලට මුහුණ දීමට සිදුවේය'යි විශ්වාශයක්‌ එදා මෙන්ම අද ද පවතියි. එපමණක්‌ නොව, නිසි පරිදි නේත්‍රා නොතැබුව හොත් රටටත්, පාලනය කරන රජුටත්, වැසියන්ටත් ශිල්පියාටත් වස්‌ වදින බවට විශ්වාසයක්‌ ඇත. එබැවින් නියමිත අංග ලක්‌ෂණ අනුව, වත් පිළිවෙත් සපුරමින් පිළිම සකස්‌ කිරීමට එදා ශිල්පීහු කටයුතු කළහ. අද බොහෝ විට එම තත්ත්වයෙන් බැහැරව සුවිසල් පිළිම ඉදි කරනු පෙනෙයි. ශාස්‌ත්‍රානුකූලව පිළිම නෙලීමේ කලාව නොදත් උදවිය මුදලට ගිජුව කරන ඇතැම් පිළිම බුදු පිළිම වශයෙන් නොව , වෙනත් අවතාර වශයෙන් දක්‌නට ලැබීම කනගාටුදායක ය. එවැනි අශාස්‌ත්‍රීය වැඩවල අනිටු විපාක අද අප අත් විඳිනවාදැ'යි සැකයක්‌ ද ඇතිවේ. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සම්බුදු පහස ලද මියුගුණ මහා වෙහෙර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ 
මහාචාර්ය 

හඟුරන්කෙත ධීරානන්ද හිමි

වසර සිය ගණනක් මුළුල්ලේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය කියැවෙන හා ලියන සැමගේ පළමු අවධානය දිනාගත් මහියංගණ පුදබිම හෙවත් මහියංගණයේ ඵෙතිහාසිකත්වය සාහිත්‍යයික මූලාශ්‍රයන්ට අනුව ක්‍රිස්තු පූර්ව සයවැනි සියවසට සීමා වූවද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බවට සාක්ෂි ශේෂව තිබේ.
මහවැලි ගං නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිවන අතර එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසීන්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වා මහියංගණයට සුවිශේෂත්වයක් හිමිව තිබේ. උත්තරවිහාරට්ඨ කථාවෙන් උපුටාගත් කොටසක් මුල් කොට කරන විවරණයකින්ද වංසත්ථප්පකාසිනිය විජය ලක්දිවට පැමිණෙන අවධියේදී ද ජුතින්දර නම් යක්ෂයකු මෙම ප්‍රදේශය පාලනය කළ බව දක්වයි. ජුතින්දර යනු යක්ෂයකුට වඩා යක්ෂයන් විශ්වාස කළ ගෝත්‍රික නායකයෙකු ලෙසින් සැලකීම වඩාත් උචිතය.
ශ්‍රී ලාංකේය වංසකථාවනට අනුව බුදුරදුන්ගේ පහස ලද පළමු ලක්දිව භූමිකලාපය ලෙසින් මහියංගණය දක්වා ඇති අතරම උන්වහන්සේගේ පළමු කේශධාතු නිදන් කොට මෙරට ඉදිකළ ප්‍රථම සත්රියන් ස්තූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්තූප කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රදේශය ලෙසින්ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම සරභු මහරහතන් වහන්සේ විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ලබාගත් ගී‍්‍රවා ධාතුව නිදන් කොට පළමු මහියංගණ ස්තූපය දහඅට රියනක් කොට ගොඩනංවන ලද බවද වංසකථාව දක්වන තොරතුරෙන් මෙම පින් බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට තිබේ. බුදුරදුන්ගේ පළමු ශ්‍රී ලංකාගමනයේ දී දිවයිනට රැකවරණ පිණිස පිරිත් දේශනා කොට මහියංගණ ථූපය පිහිටන ස්ථානයෙහි සමාධියට සමවැද එහි රැස් වූ දේව සමූහයාට දෘෂ්ට ධර්ම සම්පරායික අර්ථයන් ප්‍රකාශවන්නා වූ ඔවුන්ට යෝග්‍ය වූ ධර්මදේශනාවක් කළ බව වංසත්ථප්පකාසිනීය දක්වයි.
බුද්ධත්වයෙන් නවවැනි මස එළැඹි දුරුතු පුරපසළොස්වක් දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ දී මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපිය ද මේ බව සනාථ කොට ඇත.
ගංගා නදී නිම්නයේ පිහිටි තුන්යොදුනක් දිග් වූ එක් යොදුනක් පළල් වූ මහානාග නමින් හැඳින් වූ මෙම බිම්කඩ මහියංගණය නමින් එවකට හැඳින් වූ බව පැහැදිලි කරුණකි. එමෙන්ම දීපවංසය මහියපොක්ඛල නමින් මහියංගණය හඳුන්වා තිබේ. පසුව “මනිපොද’ ‘මණිභේද’ වැනි නාම වලින්ද මිණිපේ සහ ඒ ආශි‍්‍රත කලාපයම හඳුන්වා ඇති බව හත්ථවනගල්ල විහාර වංශයෙන් පෙනේ. එමෙන්ම මිණිබේ වේරමිණිබේ යන නාමවලින්ද එම ප්‍රදේශය හඳුන්වා තිබේ. මහනුවර අවධියේ සිට ව්‍යවහාරයට පත් බිම් තැන්න යන්නද මහිඅංගණ යන පද දෙකින් නිරූපිත වදනක් ලෙසින් සැලකෙන අතර සොරබොර ලේඛනයට අනුව සහ වංසකථාවට අනුවද මියුගුණ යන නමින් අනුරාධපුර යුගයේ අවසන් භාගයේ සිට මහියංගණය වඩාත් ජනතාව අතර ප්‍රචලිතව පැවැති බව පැහැදිලිය.
ඓතිහාසික සිද්ධීන්වල අනුපිළිවෙල හා එහි වටිනාකම් ද යම් ස්ථානයක් පිළිබඳ ඇගයීමේ දී ඉතිහාසය හා පුරාවිද්‍යාවේ දී වැදගත් වේ. බුදුන් වහන්සේගේ ලංකාගමනය හා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුන්වහන්සේගෙන් තිසරණගත වූ පළමු ශ්‍රී ලාංකේය පිරිසද බිහිවනුයේ මහියංගණ භූමිය තුළදීම වීම ශාසනික වශයෙන් වැදගත් කරුණකි. ලක්දිව දී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමණ සමන් දෙවියන් ඉතිහාසගත ගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භූමිය තුළ නිදන් කිරීම තුළින් ස්තූප නිර්මාණයේ මුල අවස්ථාව එලි දක්වන ස්ථානය ලෙසින්ද මහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. ඉඳුනිල් මැණිකෙන් සමන් දෙවියන් විසින් එම ස්තූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වන අතර ධාතුවංසයෙන් එම කරුණ තවදුරටත් තහවුරු කෙරෙයි. නමුත් රාජාවලිය රනින් කළ තූපයක කේශධාතු නිදන් කළ බව දක්වයි.
සරභු හිමියන් විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ගී‍්‍රවා ධාතුවද දහ අටරියන් උස්වන ලෙසට නිමවන ලද ස්තූපයක නිධන් කළ බව වංසකථා දැක්වීමෙන් මහියංගණ ස්තූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකාර දැයි සිතිය හැකිය. මෙහි ග්‍රීවා ධාතුව තැම්පත් කරන අවස්ථාවේ ‘මේදවණ්ණ පාෂාණ’ නම් ගල් විශේෂයන් ගෙන එන ලද සීවලී හා සුමන නම් ඍද්ධිමත් කුඩා සාමණේර දෙනමක් ගැන වංසත්ථප්පකාසීනිය දක්වයි. එමෙන්ම ස්තුප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වය ද එහි දී මතු කෙරේ. බුරුම රට මහා විජිතාවි නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙසටීකාවේ මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑය මෙන් ලෝකයේ ප්‍රකට මහියංගණ නම් චෛත්‍ය පිළිබඳව වර්ණනාවක් කර තිබේ. මෙම මුල් ස්තූප පසුකාලීනව ස්තූපවල තාක්ෂණික පාර්ශ්වය හා සංසන්දනයට අපහසු වුවද දේශීය ස්තූප සම්ප්‍රදායක් මෙරට මහින්දාගමනයට පූර්වයේ සිටම පැවැතියේය යන අදහසම මතු කිරීමට මෙම සාධක වැදගත් වේ.
බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමෙන් අනතුරුව මහියංගණය බෞද්ධ පුජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ. දේවානම්පියතිස්ස සමය තුළදීම ඔහු සොහොයුරු උද්ධ චුල්ලාභය කුමරු මහියංගණ ස්තූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකථාව දක්වන අතර මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්තූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් දෙතිස් ඵල මහාබෝධින්ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තවදුරටත් මහියංගනය පින්බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ශනීයත්ව දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම මහියංගණය හා ඒ ආශි‍්‍රත කලාපයේ බෞද්ධ පුනරුදයක් ක්‍රිස්තු පූර්ව යුගයේ තෙවැනි සියවසේ සිටම පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය. ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂූන් විෂයෙහි කළ ලෙන් රැසක් මහියංගණ ස්තූපයට දකුණින් සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි ඔලගංගලින් හමුවේ. ප්‍රාදේශීයව විසූ ‘පරුමක, බත, ගමික,ආචරිය’ වැනි විරුද දරන පුද්ගලයින් විසින් භික්ෂූන් විෂයෙහි පූජා කළ ලෙන් රැසක් පිළිබඳ තොරතුරු මාවරගලින් හමුව ඇත. නවලාර්කුලමින්ද ලිපි කීපයක් හමුව පැවැතීම භික්ෂූන් මෙම ප්‍රදේශවල විසූ බවට බෞද්ධාගම ක්‍රිස්තු පූර්ව යුගයේම මෙම කලාපය තුළ පැතිර තිබූ බවට සාක්ෂි ලෙසින් පෙන්වාදිය හැකිවේ.
දුට්ඨගාමණී රජු දවස මහියංගණ හා ආශි‍්‍රත කලාපය වඩාත් සුවිශේෂී භුමියක් ලෙසින් ඉතිහාසගතය. දුට්ඨගාමනී සිය සටන් ව්‍යාපාර එළාරට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින්ද මහියංගණය ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබු අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුට්ඨගාමණීට නිතැතින්ම හිමිවේ. දුට්ටගාමනී රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු විසින් මහියංගණ ස්තූපය රියන් අසූවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණයන් නිමවා මෙම බෞද්ධ පුණ්‍යභූමියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත.
සොරබොර වැවද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සු බ්‍රොහියර් මහතා ඒවා දුට්ඨගාමිණී රජුගේ මාලිගයේ නටබුන් විය හැකියැයි අනුමාන කරන මුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය.
දුට්ඨගාමණී සමයෙන් පසු මහියංගණ පුණ්‍ය භූමිය වෙත ශී‍්‍ර ලංකාවේ පාලකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබු බවට සාධක සාහිත්යික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් සනාථ වේ. දුට්ඨගාමිණී යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජු මහියංගණ ස්තූපයේ ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්ථවනගල්ලවිහාර වංසය කියයි. අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිවුවැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සාක්ෂි වංසකථා තුළින් සඳහන්ය. සිවුවැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳපලේ නීති කඩ කොට අසුවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩමුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණ ඇති බවත් සනාථ වේ. එනම් ‘වත් හිමියන් වහන්සේ මියුගුණ මහවෙහෙර වැඩි කලැගිය දවස’ වශයෙනි. සිවුවැනි මිහිඳු රජුගේ යැයි විශ්වාස කළ හැකි මොණරාගල දඹේගොඩින් ලැබුණූ ලිපියක ද මහියංගණයේ අභිවෘද්ධිය පිණිස කළ පරිත්‍යාගයක් ගැන තොරතුරු අන්තර්ගතවන බව සිරිමල් රණවැල්ල මහතා පෙන්වා දෙයි. පොළොන්නරු සමයේදී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබාදී තිබේ. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ බෑණා කෙනෙකුවන මියුගුණ කොදනාවන් ද මෙම ප්‍රදේශයේ වාසය කළ අතර නිශ්ශංකමල්ල රජු මියුගුණ විහාරයේ නව කම් කළ බව ගල්පොත ලිපියෙන් අනාවරණය වේ. කල්‍යාණවති රැජිණ දවස සිය මිණිපේ සෙල් ලිපියේ දී මහවැලි ගංබඩ පිහිටි මියුගුණ මහසෑය ගැන සඳහන් කරයි. එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින්ද මහියංගණ වෙහෙර පිළිසකර කිරීම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබාදී තිබේ. මහනුවර රාජධානි සමයේ ද වීර පරාක්‍රමබාහු සෙනරත්, දෙවන රාජසිංහ දෙවන විමලධර්මසූරිය , වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින් බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබාදෙමින් වැඩි දියුණු කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳ පුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි.
මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුවම පාලක පක්ෂයේ අනුග්‍රාහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුව ද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශී‍්‍ර විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලිය. එමර්සන් ටෙනන්ට් මේ ස්ථානයට දහනමවැනි සියවසේ දී පැමිණෙන විට ස්තූපය කඩා වැටී තිබූ බවත් එහි උස අඩි සියයක් පමණ වන බවත් ඔහුගේ වාර්තාවල දැක්වේ. වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තූපය 1871 දී පිළිසකර කිරීම් ඇරඹුණ අතර 1890 දී එහි කොත පළඳවා ප්‍රකෘතිතත්වයට පත් කරන ලදී. 1922 වන විට නැවතත් අබලන් වූ ස්තූපය අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් වැඩ අරඹන ලදී. 1949 මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක් ද යන්න ද අනාවරණය විය. වර්ෂ 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබු සිතුවම් පිළිබඳ විවරණයන් හෙළිදරවුවීමත් සමඟ මහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකථාගත පුවත් තුළින් එළි වු ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂි මත තහවුරු කර ගැනීමටද මං විවර විය.
එමෙන්ම ස්තූපයේ ගඩොල් පරීක්ෂා කළ විද්වතුන්ට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලි හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරැදි වැටහීමක් ලබා ගැනීමට ඉඩ කඩ ලැබිණි. මෙම ගර්භය කැණීමේදී හමුවු තැම්පත් කොට තිබූ භාණ්ඩ ද පෞරාණිකත්වයෙන් අනූන පුරාවස්තු වේ. මෙහි ලැබුණූ අශ්වාරෝහක ප්‍රතිමා හතර සුවිශේෂ නිර්මාණ ගණයේ ලා සැලකේ. එම ප්‍රතිමා අශිවින් දේව පුත්‍රයන්ගේ යැයි පරණවිතාන මහතා අනුමාන කරයි. එමෙන්ම ධාතුගර්භයේ තැම්පත් කොට තිබු බුදුපිළිම , ධාතු කරඬු ලෝහමය පහන්, තඹ කලස්, තුන්පා දරඬු මත තබන කපන ලද සංඛ, පැරැණි කාසි වර්ග,ආභරණ හා මැණික්ගල් යනාදිය ද ශ්‍රී ලාංකේය නිමවුම් ක්ෂේත්‍රයේ වූ තාක්ෂණික පාර්ශ්වය හෙළිදක්වන අතර විදේශීය සම්බන්ධතා ගැනද තොරතුරු එමගින් තහවුරු වේ. ධාතු තැම්පත් කොට තිබු ලෝහයෙන් නිමවා තිබූ ධාතු කරඬු ඒ අතරින් විශේෂත්වයක් හිමි කර ගනියි.
හමුව ඇති බුදු පිළිමවලද විශේෂත්වයක් දැකිය හැකිය. බොකු ආකාරයට සාදා ඒ තුළ තැම්පත් කොට තිබූ බුදුපිළිම ආශි‍්‍රතයේ කැටයම් පුවරුවක ලියා ඇති පාල යුගයට අයත් නාගරී අක්ෂරයන් ද හමුවීම නිසා මෙම පිළිම පාල යුගයේ දී ඊශානදිග ඉන්දියාවෙන් ලබා ගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. අමරාවති කිරිගරුඬින් නිමවන ලද තවත් කුඩා බුද්ධ ප්‍රතිමාවක්ද ලැබී තිබීම ද පුරාවිද්‍යාත්මකව වටිනාකමක් හිමිවීමට හේතුවී ඇත.
මහියංගණ ස්තූපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇත. මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. මෙම ශේෂ මෙම සිතුවම් අතරින් බෝමුල වැඩ හිඳින බුදුරුවක් නිරූපනය කර ඇත. එම බුදුරුවට දකුණු පසින් වැඩුනු රැවුලකින් යුත් ඍෂිවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ සිතුවමක මෙන්ම දේව සමූහයා පිරිවරකොට ඇති දර්ශනයක් ද එහි අන්තර්ගතය. ඒ අතරින් ත්‍රිශූලය දරන ශිව ද සිය අත් සතරින් මල්වට්ටියක් ගත් විෂ්ණු ද පැහැදිලිව හඳුනාගත හැකිවේ. මීට අමතරව හිස මුඩු කළ සිවුරක් යැයි සිතිය හැකි වතක් දවටාගත් පිරිසක් ද පසකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් කඩුගත් අත් ඇති යම රජුගේ පිරිස යැයි විශ්වාස කළ හැකි පිරිසක් ද වේ. සියුම් රේඛාවන් ගෙන් ඇඳ ඇති මෙම සිතුවම් කහ තැඹිලි හා සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. මෙම සිතුවම් ඇතැම්හු එකොළොස්වන සියවසට අයත් වේ යැයි අනුමාන කරත්. නන්දදේව විජේසේකර ද මේ ගැන දිගු විස්තරයක් කරන අතර බුදුරදුන්ගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව නිරූපනය කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදුහදවත් සනහා ලු අතර පෞරාණිකත්වයෙන් දේශීය අනන්‍යතාව තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින්ද සැලකීම ද නිවැරැදිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.