සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

බණ කතාවල කතාව

 

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

ආගමික හා දාර්ශනික සංකල්ප විවරණය කිරීමත්, ඒවාට ආකර්ෂණීය බවක් ආරෝපණය කිරීමත් අනුගාමිකයාගේ බුද්ධිමය වැටහීම තහවුරු කිරීමත්, අරමුණු කොට ගෙන විශ්ව සාහිත්‍ය තුළ අනේකවිධ ආඛ්‍යාන නැතහොත් කතා වස්තු නිර්මාණය කොට ඇත.

ඒ බව ගී‍‍්‍රක්, චීන, තිබ්බත, සංස්කෘත, ප‍‍්‍රාකෘත, ආරාබි හා රුසියානු ආදී විවිධ භාෂාවලින් ලියැවුණු කතා වස්තු විමසීමෙන් පැහැදිලි වේ. බෞද්ධයන් අතර ද බණ කතාවලට ඇත්තේ විශේෂ රුචිකත්වයකි. ජාතක පොත් වහන්සේ, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, අමාවතුර, බුත්සරණ හා පූජාවලිය වැනි කෘති රස වෑහෙන කතා වස්තුවලින් පිරි ග‍‍්‍රන්ථයෝ ය.

මෙම කතාවස්තු දෙස විවිධ කෝණයන්ගෙන් බලන පුද්ගලයෝ වෙති. ඇතැමෙක් සැදැහැයෙන් යුතුව අසා ඒවා සිය චරිතවලට ආදේශ කරති. ඇතැම්හු ඒවායේ ධර්ම රසය උකහා ගනිති. තවෙකෙක් සාහිත්‍ය රස සොයා ඒවා විශ්ලේෂණය කරති. තවෙකෙක් මේවායේ විද්‍යාත්මක සත්‍යය පිළිබඳ තර්ක කරති. ආගමික සාහිත්‍යයක ඇති මෙබඳු කතාවස්තු පිළිබඳ ඒ ඒ පුද්ගලයන් දකින ආකාරය තේරුම් ගැනීමට ආගමික කතාවල ඉතිහාසය පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වේ.

භාරතීය චින්තන ධාරාව දෙස බැලූ විට පෙනි යන්නේ ආගමික හා සාහිත්‍යයික සන්දර්භයන්හි පමණක් නොව භාරතීය සමාජ සංස්කෘතික පදනම කෙරෙහි ද ආඛ්‍යානමය ප‍‍්‍රබන්ධ ඉවහල් වී ඇති බව යි. වේද, උපනිෂද්, බ‍‍්‍රාහ්මණ, ආරණ්‍යක, පුරාණ, ඉතිහාස කෘතිවල පමණක් නොව වීර කාව්‍යයන්හි පවා මෙය තහවුරු කෙරෙන සාධක සුලබ ව හමුවේ.

මෙම ආඛ්‍යාන පද්‍යයෙන් මෙන්ම ගද්‍යයෙන් ද ලියැවී ඇත. පද්‍යයෙන් ලියැවී ඇති ආඛ්‍යාන වින්ටර්නිට්ස් පඬිවරයා හඳුන්වා ඇත්තේ (Ballad Poetry) යන නමිනි. කවි කතා (Poetic Story)පුරාණ කතා (Legend) මිථ්‍යා කථා (Mythical Story) සංවාද (Dialogue) සාකච්ඡා (Conversation) යන අදහස් එහි ගැබ් වී ඇත. ඍග් වේද සංහිතාවන්හි එන ආඛ්‍යානවල සිට විකාසය වූ කතා කලාවේ ස්වභාවය විමසූ කල්හි යථෝක්ත සියලු අංග ගද්‍ය පද්‍ය ආඛ්‍යානවල දක්නා ලැබේ.

සංවාදමය ආඛ්‍යානවල පවා කාව්‍යමය ගුණය අන්තර්ගත වීම නිසා මෙම ගද්‍ය පද්‍යමය ආඛ්‍යාන කාව්‍ය නිර්මාණ වශයෙන් විචාරකයන් ගේ අවධානයට යොමු වී ඇත. මෙහි ඉතිහාසය හා ස්වභාවය ඍග් වේදයේ එන ප‍‍්‍රසිද්ධ යම - යමී සංවාදය හා ඌර්වශී - පුරූරවස් සංවාදවලින් අනාවරණය කර ගත හැකි ය. මෙයින් ඌර්වශී - පුරූරවස් සංවාදය යනු මනුෂ්‍ය හා දිව්‍යමය ප්‍රේමයක් පිළිබඳ ආඛ්‍යානයකි.

මනුෂ්‍ය රජකු වන පුරූරවස් හා ගාන්ධර්ව හෙවත් අර්ධ දිව්‍යමය ස්ති‍‍්‍රයක වන ඌර්වශී අතර දරුවකු බිහි වන තුරු විවාහ වී සිටීමේ ගිවිස ගැනීමක් විය. එහෙත් ඌර්වශී තම පෙම්වතා වන පුරූරවස්ගෙන් විවාහයට පෙර එක් ඉල්ලීමක් කළා ය. එනම් ‘නිරුවත් පුරූරවස් කිසි දිනක තමා නො දැකිය යුතු ය‘ යන්නයි. ඊට පුරූරවස් රජු ද එකඟ විය. එහෙත් අර්ධ දිව්‍යමය කාන්තාවක වන ඌර්වශී මනුෂ්‍ය ලෝකයේ මෙසේ විසීම ගාන්‍ධර්වයෝ දැඩි ලෙස පිළිකුල් කළහ.

ඒ නිසා ඇය නැවත තම ගාන්ධර්ව ලෝකයට ගෙන්වා ගැනීමට ගාන්ධර්වයෝ නොයෙක් ඉල්ලීම් කළහ. විවිධ යෝජනා කරමින් නොයෙක් ප‍‍්‍රයත්නයන් දැරූහ. එහෙත් ඒ සියලු උත්සාහයන් නිෂ්ඵල විය. අවසානයේ දී ඌර්වශී හා පුරූරවස් අතර විවාහය සිදුවිය. මේ නිසා කලබලයට පත් ගාන්ධර්වයෝ ඇය තම ලෝකයට ගෙන්වා ගැනීමට උපක‍‍්‍රමයක් යෙදූ හ.

එනම්, දිනක් රාත‍ී‍්‍රයෙහි මෙම යුවළ නිදා සිටින අතර ඌර්වශීය විසින් තම දරුවන් මෙන් ඇති කළ, එනිසාම ඇය නිදන ඇඳෙහි කකුලක බැඳ සිටි බැටළු පැටවුන් දෙදෙනා සොරකම් කිරීමට උපායක් යෙදූහ. ඒ අනුව දිනක් රාත‍ි‍්‍රයෙහි ගොස් බැටළු පැටවුන් සොරකම් කරන සෙයක් දක්වා, ඒ බැව් ඇයට ඇඟවීම සඳහා සියුම් ශබ්දයක් ද කළහ. තම බැටළු පැටවුන් සොරකම් කරන බව දැනගත් ඌර්වශීය එකෙණෙහි ම කෑගසමින් වැළපෙමින් එය රජුට පැමිණිලි කළා ය. එවිට රජු වහා ඇඳෙන් නැගී සිටි අතර නිරුවත් පුරූරවස් දුටු ඌර්වශිය අතුරුදන් වූවා ය.

දැඩි ශෝකයටත්, උමතුවටත් පත් පුරූරවස් බොහෝ කලක් රට පුරා ඇවිද ඇය නො ලැබ, දිනක් අප්සරාවන් පිහිනමින් සිටි විලක් අසලට පැමිණියේ ය.

ශතපථ බ‍‍්‍රාහ්මණයේ ද සඳහන් වන මෙම ඌර්වශී පුරුරවස් සංවාදය ඇරඹෙන්නේ එතැන් සිට ය. පුරූරවස් ඌර්වශීය සොය හැම තැනම ඇවිද්ද නමුත් ඇය නො ලද හෙයින් අවසානයේ දී පර්වතයකින් පැන සිය දිවි හානිකර ගැනීමට සුදානම් විය. එසැණෙහි පුරූරවස්ට අපූරු කියමනක් ඇසුණි. එනම් ස්ත්‍රී හදවත යනු වළසෙකුගේ හදවතක් බවත්, එබැවින් සිය දිවි නසා නො ගතයුතු බවත්, යම් දිනෙක ඔහුගේ පැතුම් ඉටු විය හැකි බවත් ය. මෙම පේ‍්‍්‍රම වෘත්තාන්තය නො පැහැදිලි අවසානයක ඇත්තක් වුව ද එහි කාව්‍යමය මූල බීජය කාලිදාසයන්ගේ වික‍‍්‍රමොර්වශි නම් විශිෂ්ට කාව්‍ය ග‍‍්‍රන්ථයට ද වස්තු බීජය වීම වැදගත් කරුණකි.

මෙසේම දිව්‍යමය සොයුරු සොයුරියන් දෙදෙනකුගේ සංවාදයක් වන යම - යමී සංවාදය ද අන්තර්ගතය විසින් වැදගත් ආගමික දාර්ශනික පසුබිමක් නිරූපණය කරන්නකි. සිය වගකීම ඉටුකිරීම සඳහා සොයුරු ‘යම’ පොළඹවා ගැනීමට සොයුරිය වන ‘යමී’ පෙම් වදන් කීමත්, ඇය පේ‍්‍්‍රමයෙන් වැළඳ ගන්නා ලෙස කරන ලද ඉල්ලීමත් යම විසින් ප‍‍්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් ඇතිවන යුක්තිය, ධර්මය, සදාචාරය, හා වගකීම යන මේවා පසුබිම් කොට ගත් සංවාදයක් මෙහි ඇත. එසේ ම ආධ්‍යාත්මය නිරූපණය වන කාව්‍යමය ගුණය ද මෙහි දක්නා ලැබේ. මෙබඳු සංවාද උපනිෂද්හි ද නිතර හමුවන බව අපි දනිමු.

යථෝක්ත කරුණුවලින් අනාවරණය වන්නේ ආගමික සන්දර්භය තුළ වෘත්තාන්ත කතාන්තර හෙවත් ආඛ්‍යානයන්ගේ සන්නිවේදන ප‍‍්‍රබලතාව වර්ෂ දහස් ගණනකටත් පෙර, එනම් වෛදික යුගයේ සිට හඳුනාගෙන තිබූ බවයි. ඒවාට කාව්‍යමය භාෂාව, උපමා රූපකාදී අලංකාර ද ඇතුළත් වීමෙන් මතුවන සාහිත්‍යමය රසය රාමායණය, මහා භාරතය වැනි වීර කාව්‍යයන්ගේ ප‍‍්‍රභවය දක්වා දිරි ගැන්වීම් කළේ ය.

වර්තමානයේ ද භාරතීය හින්‍දු භක්තිකයන් මෙම කෘති නිතර කියැවීමෙන් තම ආගමික භක්තිය තහවුරු කර ගැනීමත්, ඒවායින් රසාස්වාදයක් ලැබීමත්, තම ජීවිත අත්දැකීම් හා සම්බන්‍ධ කර ගැනීමත් මෙම ආඛ්‍යානවල පවතින ප‍‍්‍රබල බව පෙන්නුම් කරයි.

මෙම පසුබිම බෞද්ධ සාහිත්‍යයට ද අදාළ වේ. ධර්මය සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවක් වශයෙන් ආඛ්‍යාන යොදා ගැනීමත්, ඒවාට සාහිත්‍ය රසය මුසු කිරීමත් බුදුන් වහන්සේගේ කාලයේදී ම ප‍‍්‍රභවය වී සංවර්ධනය වී ඇති බවයි.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද කතා වස්තු රාශියක් ත‍ි‍්‍රපිටක සූත‍‍්‍රාන්තවල දක්නට ලැබේ. එසේම ජාතක කථා අදියෙහි ද පුරාණ බෞද්ධ කතා වස්තු දක්නා ලැබේ. මේවායින් ඇතැම් කතා වස්තු ලෝක ප‍‍්‍රකට වන අතර, විශ්ව සාහිත්‍යයෙහි සමහර බෞද්ධ කතා වස්තු ආශ‍‍්‍රයෙන් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ පවා බිහිවී ඇත. එබැවින් බෞද්ධ කතා වස්තු දෙස බැලිය යුත්තේ හුදු මනඞකල්පිත ප‍‍්‍රබන්ධ වශයෙන් නොවේ. ‘මහණෙනි, පෙර වූවක් කියමි.‘ යනාදී වශයෙන් දේශනා කළ ඉතිහාස කථා බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත.

එසේම සමකාලීන ඉන්දියාවේ සිදුවූ යම් යම් සිද්ධීන් පදනම් කොට දේශිත කතා ද වේ. අංගුලිමාල වැනි මිනීමරුවන් සම්බන්ධ කථා. පටාචාරා, අම්බපාලි, ඛේමා, උප්පලවණ්ණා හා ඉසිදාසි වැනි ස්ත‍ී‍්‍රන් සම්බන්ධ කථා මෙන්ම සේරිවානිජ වැනි වෙළෙන්දන් ආදී වශයෙන් සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන පුද්ගලයන් සම්බන්ධ කතා වස්තු එහි ඇතුළත් ය.

ආගමකට මෙබඳු කථා වස්තු අවශ්‍ය වන්නේ ධර්මය හෝ සදාචාරාත්මක ඉගැන්වීම් ආකර්ෂණීය ලෙස ශ‍‍්‍රාවකයාගේ හදවතට සන්නිවේදනය කිරීම සඳහා ය. ලෝකෝත්පත්තිය පිළිබඳව බෞද්ධ අදහස කියැවෙන අග්ගඤ්ඤ සූත‍‍්‍රය, කර්මය පිළිබඳව සඳහන් උපාලි සූත‍‍්‍රය, ත‍ි‍්‍රලක්ෂණය පිළිබඳව සටහන් වන සච්චක සූත‍‍්‍රය වැනි බොහෝ සූත‍‍්‍රවල කියැවෙන බෞද්ධ දාර්ශනික සංකල්පවලට පසුබිම ඊට අනුබද්ධ පසුබිම කතාවස්තු ආශ‍‍්‍රයෙන් සැකසෙන අයුරු දැකගත හැකි ය.

අනෙක් අතින් ධම්මපදය, ජාතක පාලි වැනි ධර්ම ග‍‍්‍රන්ථයන්ගේ කියැවෙන දාර්ශනික සිද්ධාන්තය නැතහොත්

ධර්මම ය කරුණ ඊට අදාළ කතා වස්තුව නොමැති නම් තේරුම් ගැනීම අපහසු ය. ධම්මපදට්ඨ කථා හා ජාතකට්ඨ කථා වැනි වැදගත් මූලාශ‍‍්‍රයන් පැරණි යතිවරුන් විසින් සුරක්ෂිත කරන ලද්දේ එහෙයිනි. ඒවා මතකයේ දරමින් විශේෂ අධ්‍යයනයන්ට භාජනය කළ විශේෂඥ භික්ෂූන් වහන්සේලා පැරණි ලංකාවේ විසූහ. ඔවුහු ධම්ම පදභාණක, ජාතක භාණක යනාදී නම්වලින් හඳුන්වනු ලැබූහ. මේ නිසා බණ කතාවලට ඓතිහාසික, ආගමික හා සාමාජික පසුබිමක් හා අවශ්‍යතාවක් ඇති බව ද තේරුම් ගත යුතු ය.

එකී පසුබිම හා අවශ්‍යතාව සඳහා ඇතැම්විට සාහිත්‍යමය උපක‍‍්‍රමයක් ලෙස අභව්‍ය යැයි සැලකෙන සිද්ධීන් ද උපමා, අලංකාර, සංකේත, සංවාද වැනි සාහිත්‍යමය උපක‍‍්‍රමයන් ද භාවිත කොට ඇත.

ආගමික අරමුණු හා සාහිත්‍යමය උපක‍‍්‍රම යන කරුණු වෙන වෙනම දිගහැර බලා ඉන් අපේක්ෂිත කාරණය තේරුම් ගත යුතු ය. ඇතැම් අය කතා වස්තුවක හුදු එක් සිදුවීමක් ගෙන මෙබඳු දේ වියහැකි දැයි ශ‍‍්‍රාවකයන්ගෙන් ප‍‍්‍රශ්න කොට ඒවා නිසරු බොළඳ හා මනඞකල්පිත දේ හැටියට බැහැර කිරීමට දරන ප‍‍්‍රයත්නයන් දැකිය හැකි අතර, එය නූගත් බවේ

ලක්ෂණයක් බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය.

බුදුදහමෙහි පමණක් නොව ඊට පෙර පැවති වේදයෙහි ද, වේදාන්ත දර්ශනවල ද තම දාර්ශනික ඉගැන්වීම පහසුවෙන් ඉගැන්වීම සඳහා මෙබඳු කතාවස්තු යොදාගෙන ඇති බැවින් ආගමික ඉගැන්වීම් හා කතා වස්තු අතර ප‍‍්‍රබල සන්නිවේදනමය අවශ්‍යතාවක් පවතී. එබැවින් අප බෞද්ධ කතාවස්තුවල ප‍‍්‍රබල ඓතිහාසික පසුබිමක් පවතින බවත් ඒවායෙන් සමාජයට සිදුවී ඇති මහඟු මෙහෙවර ගැනත් වටහා ගනිමින් බෞද්ධ කතා වස්තු කියැවීමෙන් ලෞකික හා අලෞකික ඵලයක් ලැබීම වැදගත් ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

රාජ පූජිත ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරය



සෝමවති රාජමහා විහාරාධිපති
මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
ලේඛකාධිකාරි ආචාර්ය
පහමුණේ සුමංගල හිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්‍වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි වස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීමෙන් සිරිලක් දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේ යැයි දීපවංශ, මහාවංශ, ජිනකාලමාලි ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවී වසර 327 කට පසු ධර්‍මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වී නිග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත්වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් මහකෙල නාගරාජයා විසින් මවන ලද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය ද (බුද්ධ ශරීරයම) සියැසින් දැක අසීමිත බුද්ධාලම්බනප්‍රීතියට පත් වූයේ, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්‍මස්ඛන්‍ධය සංඛ්‍යා වශයෙන් අසූහාරදහසක් බව දැනගත් රජතුමා අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටු වීමට කටයුතු සැලැස්වීය.

ධර්මාශෝක මහරජ තුමන්ගේ පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත්ව වස් 12 ක් සම්පූර්ණ වූයේ රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු:ව: 237 දී මිහිඳු මාහිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන් ද, භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට වැඩම වූහ.

දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්විය. සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාමවාසීමක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දුණි ඉන් අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨකුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරය යි. මෙම විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහාවිහාරයත් සමඟම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාම ය.

එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරාමයත්, සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරමින් වැඩිදියුණු කිරීමට පටන් ගති. ධර්‍මාශෝක මහරජතුමාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය ද ශ්‍රී මහා බෝධි අංකුරයක් රැගෙන වැඩමවා අනුලා දේවිය ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට භික්‍ෂුණී ශාසනය පිහිටු වීය.


මේ අයුරින් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය වැඩි දියුණු තත්ත්‍වයට පත් වන මොහොතේ රජකම පිළිබඳ ඇති වූ අර්බුධ තත්වය නිසා මහානාග කුමාරයා භික්‍ෂූන් වහන්සේ සහිත සිය පිරිවර සමඟ මහවැලි ගඟෙන් එගොඩ රෝහණයට පිටත්ව ගියහ.

රුහුණු රටට ඇතුල් වූ මොහොතේ මහවැලි ගඟ අසබඩ සිය නමින්ම නාගාරාමය (වර්තමාන සෝමවති විහාරය) නමින් විහාරයක් සාදා එහි භික්‍ෂූන් පදිංචි කොට යටාලතිස්ස ප්‍රදේශයට ගිය මහානාග රජතුමා එහි දී ලැබුණු ස්වකීය පුත්‍ර යටාලතිස්ස කුමාරයා ද හදා වඩා ගනිමින් රෝහණ රාජ්‍ය ස්ථාපිත කරගත්තේ ය. එකී යටාලතිස්ස රජුගෙන් පසු ඔහු පුත් ගෝඨාභය රජතුමා ද ඔහුගේ පුත් කාවන්තිස්ස කුමාරයා ද රාජ්‍යයට පත් වූයේ රෝහණ ප්‍රදේශයේ නාගාරාමය , සේරුවිල, මහියංගණ, තිස්සමහාරාම ආදී චෛත්‍යස්ථාන ඉදිවෙමින් සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට පත්වීය.

දේවානම්පියතිස්ස රජු දවස ආරම්භ වූ සම්බුද්ධ ශාසනය හා මහා විහාරයත් නැවතත් දුටුගැමුණු රාජ්‍ය කාලයේදී ඉතාමත් දියුණුවකට පත්විය. වළගම්බා රජ දවස ඇති වූ සොලී ආක්‍රමණ නිසා නැවතත් රාජ්‍ය හා ශාසනික පරිහානිය සිදු වූ අතර මහා විහාරයෙන් වෙන් වූ භික්‍ෂු පිරිසක් අභයගිරිය නමින් වෙන් වීය.

නැවතත් වංකනාසිකතිස්ස රජු කල සොළීන් පැමිණ සිංහල රාජ්‍යයත්, ශාසනයත් විනාශයට පත්කරමින් පාත්‍රා ධාතුවත්, දේවාභරණත්, සිංහලයන් 12000 ක් ද සොළීරටට රැගෙන ගිය බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

ගජබා රජතුමා එම සොළී රටට ගොස් පැහැරගෙන ගිය 12000 ක් හා සොළීන් 12000 යන 24000 ක් සෙනඟ හා පාත්‍රා ධාතුවත්, දේවාභරණත් ගෙනා බව සඳහන් වන අතර, එම රජතුමාට සෝමවතී රාජමහ විහාරයේ භික්‍ෂූන් ගාමිණී අභය යුදජී “යුද්ධ ජයාග්‍රාහක ගාමිණි අභය” යන ගෞරව නාමය පිරිනැමූ හැටි ක්‍රි.ව. 112 සෝමවතී මීන්විලු ශිලා ලේඛනයෙහි සඳහන් වේ. විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත්, සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික, ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්විය.

උපසම්පදා විනය කර්‍මයට ප්‍රමාණවත් භික්‍ෂුන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහලු විජයබා රජතුමා විසින් රක්‍ඛංග දේශයෙන් භික්‍ෂුන් ගෙන්වා උපසම්පදා විනය කර්‍මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරන ලදි. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමඟි කරවා කතිකාවතක් ද ඇති කොට දහස් ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.