සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

ථේරවාදි බෞද්ධයනි, ඔබේ අවධානය පිණිසයි!


ගෞතම බුදුරදුන් විසින් පවත්වන ලදැයි සැලකෙන දේශනා ඇතුළත් ත්‍රිපිටකය මූලික කරගත් අටුවා හා ටීකාදි වශයෙන් ගැනෙන මූලාශ්‍රය විශාල ප්‍රමාණයක් ථේරවාදි සම්ප්‍රදායට අයත් වේ. ථේරවාදීන් සතු වන මේ මූලාශ්‍රය ප්‍රමාණය විශාල බැවින්ම එහිලා කළ යුතු කටයුතු ප්‍රමාණයද අතිවිශාලය. එහෙත් මෙම ක්‍රියාවලිය පිළිබඳව නිසි අවබෝධයක් නැති බැවින් දෝ පාලි හා බෞද්ධ අධ්‍යයනයට සම්බන්ධ පර්යේෂණ ක්‍රියාවලිය කලක පටන් එකම තැනක රැඳී පවතිනු පෙනේ. මෙය ථේරවාද බෞද්ධ අධ්‍යයනය හා සම්බන්ධ විශාල කඩාවැටීමක් සේම අභියෝගාත්මක තත්ත්වයක්ද වේ. එබැවින් මෙම ක්ෂේත්‍රයෙහි සීමාවන් හඳුනාගැනීම කාලෝචිතය. මේ ලිපිය ඒ සම්බන්ධයෙනි. මෙහි ලේඛකයා පාලි භාෂාව පිළිබඳ විශේෂවේදි විද්‍යාර්ථියෙකි.

ථේරවාද බෞද්ධ අධ්‍යයන යොමු විය යුතු විවිධ අංශ පිළිබඳව විද්වත්හු නොයෙක් යෝජනා ඉදිරිපත් කරති. එම යෝජනා නැවත ඉදිරිපත් කිරීම මෙහිලා අපගේ අරමුණ නො වේ. නොයෙක් දිශාවන් කරා විහිද ගිය මෙම ක්ෂේත්‍රයෙහි අනිවාර්ය අවධානය යොමු කළ යුතු සීමාව දැක්වීම පමණක් මෙහිදී සිදු කැරේ. ඒ අනුව මෙහිදී අවධානය යොමු වන අංශ මෙසේ කෙටියෙන් දැක්විය හැකිය:
01. පැරණි ග්‍රන්ථ පිටපත් හඳුනාගැනීම හා සංරක්ෂණය. 02. පැරණි ග්‍රන්ථ සංස්කරණය හා කළ සංස්කරණ අලුත් කිරීම. 03. සංස්කරණය වූ පාඨ පිළිබඳව පර්යේෂණ මගින් නව යෝජනා ඉදිරිපත් කිරීම. 04. පැරණි ග්‍රන්ථ පරිවර්තනය හා කළ පරිවර්තන අලුත් කිරීම. 05. මූලාශ්‍රයන්ගේ අන්තර්ගතය හඳුනාගැනීම මගින් බෞද්ධ අධ්‍යයනය පුළුල් කිරීම. 06. වෙනත් විෂයයන් සමඟ සැසඳීම. 07. මානසික සංවර්ධනය
මෙහිදී වඩා වැදගත් වන්නේ පාලි මූලාශ්‍රයන් සම්බන්ධයෙන් භාෂා ශාස්ත්‍රීය ක්‍රමවේදයක පිහිටා, නූතන තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් පර්යේෂණ කිරීමට හැකි පාලි භාෂා දැනුමැත්තෝය. මීළඟට මෙහි ඉහත දක්වන ලද එක එකක් අංශ පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කරමු.
01. පැරණි ග්‍රන්ථ පිටපත් හඳුනාගැනීම හා සංරක්ෂණය
ථේරවාදී පාඨග්‍රන්ථයන්ගේ අත්පිටපත් බොහෝ දුරට පුස්කොළ පොත්ය. එබැවින් පාඨ ග්‍රන්ථ සංස්කරණයකදී පළමුවෙන්ම කළ යුත්තේ අත්පිටපත් තෝරාගැනීමය. සාර්ථක ග්‍රන්ථ සංස්කරණයක් එක් පිටපතක් ආශ්‍රයෙන් පමණක් සිදු කළ නොහැකි බැවින් එම පාඨ ග්‍රන්ථයට අදාළ තවත් පිටපත් ඇත්දැයි පර්යේෂකයා පළමුව සොයා බැලිය යුතුය. මෙහිදී තමා සංස්කරණය කිරීමට අපේක්ෂා කරන ග්‍රන්ථය මීට පෙර යම් සංස්කරණයකට ලක්ව ඇත් නම් එය පළමුවෙන්ම පරීක්ෂා කොට, ග්‍රන්ථය පිළිබඳව යම් දැනුමක් ලබාගත යුතුය.
මේ ආකාරයට ග්‍රන්ථ සංස්කරණයක නියැලීමට උත්සාහ කරන පර්යේෂකයකු වෙත පැවතිය යුතු ගුණාංග දෙකක් හඳුනාගත හැකිය. ඒවා නම් අනලස්ව තමන්ට ලැබෙන සියලු පුස්කොළ පිටපත් පර්යේෂණය කළ හැකි වීම හා හමු වන සෑම පත් ඉරුවක් පාසාම මේ තමන් සොයන පාඨ ග්‍රන්ථයේ කොටසක්ද නැද්ද යන වග නිශ්චය කරගැනීමේ අනුමාන ඥානයයි. මෙම ගුණාංග දෙකින් සමන්විත වූ පර්යේෂකයාට තමා සංස්කරණය කිරීමට බලාපොරොත්තු වන පාඨ ග්‍රන්ථය සෑහෙන පමණ අංගසම්පූර්ණ කරගැනීමේ හැකියාව උදා වේ.
තවද පර්යේෂකයා සතුව ඇති පුස්කොළ පිටපත් සංරක්ෂණය කරගැනීමට, ඒවා නඩත්තු කරන ආකාරය පිළිබඳවද මනා වැටහීමක් තිබීම වැදගත් වේ. මෙහිදී විශේෂයෙන්ම පුස්කොළ පොත බැඳගැනීම පිළිබඳ හා කළු මැදීම හෙවත් අකුරු මතු කරගැනීම පිළිබඳ දැනුම වැදගත් වේ. තවද: පුස්කොළ පොත් නිෂ්පාදනය හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලියම දැනගෙන සිටීම මෙහිදී මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමකට හේතු වේ.
මේ සියලු කරුණුවලට අමතරව රට පුරා විසිර ඇති පුස්කොළ පොත් පිටපත් සොයාගැනීම පිළිබඳ දැනුමක්ද අදාළ පර්යේෂකයා වෙත පැවතිය යුතුය. මෙහිදී කේ.ඩී. සෝමදාස මහතා විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් නාමාවලිය පොත් කාණ්ඩ තුන ශ්‍රී ලංකාව පුරා නොයෙක් විහාරස්ථානවල හා පුස්තකාලයවල තැන්පත් කර ඇති පුස්කොළ පොත් සොයාගැනීමට මහෝපකාරී වේ. මෙහි පළමු කාණ්ඩ දෙක මගින් එම ග්‍රන්ථය සකසන කාලය වන විට ලංකාව පුරා පැවති පුස්කොළ පොත් පිළිබඳවද, තෙවන කාණ්ඩයෙන් ලංකාවෙන් ගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුස්කොළ පොත් පිළිබඳවද තොරතුරු දැක්වේ.
මීට අමතර ව හියු නෙවිල් විසින් සකසන ලද පුස්කොළ පොත් නාමාවලිය හියු නෙවිල් කලෙක්ෂන් පොත් කාණ්ඩ මගින් ලබාගත හැකි ය. එම එකතුවෙහි ඇති විශේෂත්වය වන්නේ පුස්කොළ පොත් නාමාවලියක් පමණක් නොදක්වා, ඒ එක එකක් පොතක අන්තර්ගතයද ලුහුඬින් දක්වා තිබීමය. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ පුස්කොළ පොත් නාමාවලියද මීට සමාන ලැයිස්තුගත කිරීමකි. තවද: කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යාපීඨය යටතේ පුස්කොළ පොත් අධ්‍යයන ඒකකයක් පවත්වාගෙන යනු ලැබේ.
මේ ආකාරයට ථේරවාද බෞද්ධ ක්ෂේත්‍රයට අදාළ පැරණි පිටපත් හඳුනාගෙන, ඒවා වෙන් කරගැනීම, එකතු කිරීම හා සංරක්ෂණය කොට තමාගේත් අනුන්ගේත් අධ්‍යයන කටයුතු සඳහා මං පෙත් සැලසීම වර්තමානයෙහි සිදු විය යුතුම කටයුත්තක් බව පැහැදිලි ය.
02. පැරණි ග්‍රන්ථ සංස්කරණය හා කළ සංස්කරණ අලුත් කිරීම
ඉහත සඳහන් පළමු පියවර ඔස්සේ සංස්කරණයට තෝරාගත් පාඨ ග්‍රන්ථයේ තවත් පිටපත් සොයා බලා ඒවා විධිමත් අයුරින් වර්ගීකරණය කරගත යුතුය. පත්ඉරු අවුල්ව ඇති නම් ඒවා පිළිවෙළට සකසාගත යුතුය. අවුල්ව ඇති පෙළක් පිළිවෙළකට සකස් කරගන්නා ක්‍රම දෙකකි. ඉන් පළමු ක්‍රමය වන්නේ ලැබී ඇති පිටපතේ අංකිත ක්‍රමය හඳුනාගෙන, ඒ අංකිත පිළිවෙළට පත්ඉරු සකසාගෙන පෙළ පිළිවෙළ මතු කරගැනීමයි. එහෙත් ඇතැම් පිටපත්වල යම් ක්‍රමයකට සෑම පත්ඉරුවක්ම පිළිවෙළකට අංකිත නමුත් එහි අන්තර්ගත පෙළ බෙහෙවින් අවුල්ය. මෙවන් අවස්ථාවකදී දෙවැනි ක්‍රමයක් භාවිත කළ යුතුය. එනම්: දැනට සිදුව ඇති සංස්කරණයක් හෝ එහිම තවත් පිටපතක් බලා ඒ අනුව අවුල්ව ඇති පෙළ සකසාගැනීමයි. එසේ කළ නොහැකි නම් පාඨ ග්‍රන්ථය අටුවාවක් හෝ ටීකාවක් නම් මුල් පෙළ බලා එයට ගැළපෙන සේ අටුවාව හෝ ටීකාව සකසාගත හැකිය. එසේත් කළ නොහැකි අවස්ථාවකදී ඉදිරිපත් වන කරුණුවල ගැඹුර අනුව සරල තැන පටන් ගැඹුරු තැන දක්වා පිළිවෙළ සකසාගැනීම කළ හැකි ය. මන්ද යත්: ථේරවාද පාඨ ග්‍රන්ථ බොහෝ විට සරල තැන පටන් කෙමෙන් ගැඹුරට විහිදීම ලක්ෂණ කොට ඇති බැවිනි. ඒ අනුව මේ සියල්ලෙන් පොදුවේ මතු වන පෙළක් නිර්මාණය කරගැනීම පෙළ සංස්කරණ ක්‍රියාවලියෙහි පළමු පියවර යි.
අනතුරුව දෝෂ ඉවත් කළ යුතුය. ඇතැම් පිටපත් බෙහෙවින් අවුල්ව තිබිය හැකි බැවින් පිටපත් සියල්ල එකට තබා, බහුලව යෙදී ඇති පාඨ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මෙයින් බලාපොරොත්තු වනුයේ පිටපත් කරන්නන් අතින් සිදු වූ දෝෂ හා මුල් කෘතියේ ස්වරූපය හඳුනාගැනීමය.
මෙහිදී අප හඳුනාගත් ආකාරයට සංස්කරණයට ලක් වන කොටසෙහි සියලු පාඨ කොටස් තුනකට අයත් වේ. ඒවා මෙසේය:
I. මූලපාඨ, II. අපපාඨ, III. ආදේශ පාඨ
I. මූලපාඨ: පිටපත් වැඩි ගණනක යෙදී ඇති, ටීකාවක් නම් මූල ග්‍රන්ථය සමඟ මනා ගැළපුමක් ඇති හා ව්‍යාකරණාදි වශයෙන් දෝෂයක්ද නැති පාඨ මූලපාඨ වශයෙන් සැලකේ. එවැනි පාඨ අධෝලිපි පාඨ වශයෙන් නොතබා ශුද්ධ පාඨ වශයෙන්ම පෙළට ඇතුළත් කිරීම සිදු වේ.
II. අපපාඨ: මෙහිදී මූලපාඨ වශයෙන් සැලකූ ඇතැම් පාඨ හා තවත් පාඨ සමහරක් පිටපතක-දෙකක හෝ පිටපත් කිහිපයක වෙනස්ව, දූෂිතව යෙදී ඇත. මෙවැනි පාඨ අපපාඨ වශයෙන් සැලකේ. මෙවන් අපපාඨ පාදක සටහන් වශයෙන් සංස්කරණ කෘතියේ ඒ ඒ පිටුවේ යටින් අදාළ පිටපතේ සංකේතයද සමඟ දැක්වේ.
III. ආදේශ පාඨ: මූලපාඨ හා අපපාඨ වශයෙන් සැලකිය නොහැකි පාඨ ආදේශ පාඨ නම් වේ. සීමිත පිටපත් ගණනක යෙදී ඇති, අන්තර්ගතය හා නොගැටෙන, භාෂාත්මක වශයෙන්ද ගැටලු ඇති නොකරන පාඨ මෙම ගණයට අයත් වේ. මෙවැනි පාඨ ඇති විය හැක්කේ උගත් පිටපත් කරන්නන් අතිනි. මේවා තමන් අතට පත් වූ පිටපතෙහි යම් වැරැදියැයි හැඟෙන තැනකදී හෝ සම්ප්‍රදායානුකූල වීමෙන් හෝ ඌනපූරණයක් කළ යුතුමයැයි හැඟෙන අවස්ථාවකදී එක් කළ පාඨ විය යුතුය.
පර්යේෂකයා සතුව ඇති පුස්කොළ පොත් පිළිබඳ පරම්පරා වෘක්ෂයක් සකසාගත හැකි නම් මේ පාඨාන්තර දෝෂ ඇති වීම පිළිබඳව යම් අවබෝධයක් ලැබිය හැකිය. මෙහිදී පළමුව පහත රට ප්‍රදේශයෙන් සොයාගත් පොත්, උඩරට ප්‍රදේශයෙන් සොයාගත් පොත්, බුරුම සම්ප්‍රදායට අයත් පොත් වශයෙන් වර්ගීකරණය කරගත යුතුය. අනතුරුව උඩරටට අයත් පැරණි පොත් සමහරක් සියම් ආභාසය ලැබූ ඒවා දැයි පරීක්ෂා කළ හැකිය. බුරුම සම්ප්‍රදායට අයත්යැයි පෙනෙන පොත්වලට බුරුම පාලි භාෂා සම්ප්‍රදාය කොතෙක් දුරට බලපා ඇත්ද? යන්නත් විමසිය හැකිය. තවද: එම පොත් පිටපත් කරන ලදැයි සඳහන් වන කාලවකවානුව අනුවද පිටපත්කරුවාගේ විස්තර අනුවද කාලය සොයාගත හැකිය. මෙසේ එක් එක් පිටපතක කාලය සොයාපැරණිම කෘතියට ආසන්න බව සලකා බැලිය හැකිය. සාම්ප්‍රදායික වෙනස්කම් සලකා බැලිය හැකිය.
සංස්කරණය සඳහා යොදාගත් පිටපත්වල සඳහන් නොවන, එහෙත් මූලපාඨ ලෙස පැවැතියේයැයි සිතිය හැකි පාඨ වෙත් නම් ඒවා සංස්කරණය කළ පෙළෙහිම කොටු වරහන් තුළ යෙදිය හැකි ය. එසේ පාඨ යෙදූ අවස්ථාවල ඒවාට හේතුද අධෝලිපි සටහන් මගින් දැක්වීම වඩාත් ශාස්ත්‍රීය වේ. එය පාඨකයාගේ හා පරිවර්තකයාගේ නුමුළා බවට හා පහසුවට හේතු වේ. සංස්කරණය සඳහා තෝරාගත් සියලු පාඨ පෙළට ඇතුළත් කැරෙන අතර, අනෙක් සියලු පාඨ පාදක සටහන් වශයෙන් දක්වනුයේ මතු පර්යේෂකයන්ගේ ප්‍රයෝජනය සඳහා සහ තෝරාගත් පාඨයන්ගේ නිවැරදි බව පිළිබඳව සංසන්දනාත්මක අවබෝධයක් ලබනු පිණිසය. තවද එසේ දැක්වීමේදී පිටපත්වලට දී ඇති සංකේතාක්ෂරයන්ගේ අනුපිළිවෙළටම දැක්වීම උචිතය. අක්ෂර වින්‍යාසයේ සුළු සුළු වෙනස්කම් සහිත පාඨ වුව ප්‍රයෝජන වශයෙන් සලකා සංස්කරණයෙහිදී දැක්වීම උසස් ශාස්ත්‍රීය සංස්කරණවල ස්වභාවයයි. පාඨාන්තර විශාල ප්‍රමාණයක් ඇති අවස්ථාවකදී ඒවා උපග්‍රන්ථයකට ඇතුළත් කිරීම වඩා සුදුසුය.
පාඨ ග්‍රන්ථයේ අතරින් පතරට එකතු කළ යුතුයැයි හැඟෙන ඇතැම් පත්ඉරු කොටස්වල එන ගාථා හෝ වාක්‍යාදිය පෙළේ අදාළ තැන්වලට සමීප කරගැනීම මීළඟට කළ යුතු කාර්යයයි. පර්යේෂකයා පෙළට අදාළයැයි අනුමාන කරන කොටස් දැනට සකසාගෙන ඇති පෙළේ එකතු විය යුතු තැන් හා කිසි විරෝධයක් ඇත්දැයි නිශ්චය කරගත යුතු අතර, එය පෙළට ඇතුළත් කිරීමට තවමත් ඉක්මන් නොවිය යුතුය. ඇතැම් විට එසේ ඉක්මන් වීම නියම මුල් පෙළට වඩා විකෘති පෙළක් සංස්කරණය වීමට හේතු විය හැකි බැවිනි.
සංස්කරණයකදී පාලි පෙළ පිළිබඳ පිටපත් පමණක් ඇසුරු කිරීම අසාර්ථකය. අදාළ පාඨ ග්‍රන්ථයට සම්බන්ධ වෙනත් සංස්කරණ වේ නම් ඒවාද සංස්කරණ කාර්යයෙහිලා පාඨාන්තර සම්බන්ධ ගැටලු විසඳාගැනීමට යොදාගත හැකිය. උදාහරණයක් වශයෙන් ධම්මපදය නම් පාඨ ග්‍රන්ථය පිළිබඳව විමසා බැලේ. භරතසිංහ උපාධ්‍යායට අනුව ධම්මපදය පිළිබඳව ප්‍රාකෘත ධම්මපදය, මහාවස්තුවෙන් උපුටාගත් සහස්‍ර වර්ගය, පිරිසිදු සංස්කෘතයෙන් රචනා කරන ලද ධම්මපදය හා ප-ඛ්‍යු-කිඩ් නම් චීන අනුවාදය වශයෙන් සංස්කරණ හතරකි. සංස්කාරකවරයාට මේ සියලු ධම්මපද සංස්කරණ පිළිබඳව විමසා බැලිය හැකිය. විමසා බැලෙන මෙම පිටපත් අතර දුර්ලභ පිටපත්ද තිබිය හැකිය. උදාහරණ වශයෙන් සාමඤ්ඤඵල සූත්‍රය සම්බන්ධයෙන් සොයාගත් සංස්කෘත සංස්කරණ ලිපි කැබැලි දැක්විය හැකිය. සංස්කාරකවරයාට මේ සියල්ල පිළිබඳව දැනුමක් තිබිය යුතුය.
තවද: සංස්කරණයට ලක් වන ග්‍රන්ථයට අටුවාවක්, ටීකාවක් හෝ මූල ග්‍රන්ථයක් වේ නම් සංස්කරණයේදී ඒවාද අනිවාර්යෙන්ම භාවිත කළ යුතුය. තවද අදාළ පාඨ ග්‍රන්ථයේ දැක්වෙන කරුණුවලට සමාන කරුණු ඇති ප්‍රකරණ ග්‍රන්ථ වේ නම් ඒවාද, එම ග්‍රන්ථය සම්පාදිත කාලසීමාවේදී ඊට සමානව වෙනත් භාෂාවන්ගෙන් සම්පාදිත වෙනත් කෘතිද පරිහරණය කළ හැකිය. මීට අමතර ව ඡන්දස, ව්‍යාකරණය හා ශබ්දකෝෂ යනාදියද සංස්කරණ කාර්යයෙහිලා උපයෝගී කරගත හැකිය. කළ සංස්කරණ වුව ඇතැම් විට නැවත සංස්කරණය කළ හැකිය. එහිදී සංස්කාරකවරයා සතුව තවත් පිටපත් ප්‍රමාණයක් තිබිය යුතු අතර, කරුණු සහිතව මුල් සංස්කරණයට වඩා පෙළෙහි සංශෝධනය විය යුතු තැන් යම් ප්‍රමාණයක් තිබිය යුතු ය.
03. සංස්කරණය වූ පාඨ පිළිබඳව පර්යේෂණ මගින් නව යෝජනා ඉදිරිපත් කිරීම
සංස්කරණය වූ පෙළක වුව තවදුරටත් වෙනස් විය යුතුයැයි යෝජනා කැරෙන පාඨ තිබිය හැකිය. ඇතැම් විට එය සංස්කෘත හා චීන වැනි පිටපත් ඇසුරෙන්ද, සන්දර්භයට ගැළපීම් වශයෙන්ද යනුවෙන් නොයෙක් කරුණු පදනම් කරගත් යෝජනා විය හැකිය.
උදාහරණ වශයෙන් විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ යෝජනා කිහිපය අවධානයට යොමු කරමු: බුරුමයේ පැවැති ඡට්ඨ සංගායනාවට සහභාගී වූ බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය නාහිමියෝ සද්දනීති ව්‍යාකරණය අනුව ශුද්ධයැයි තෝරාගත් ‘නිගණ්ඨො නාටපුත්තො’ යන්න වැරදි බවත් ඒ වෙනුවට ‘නිගණ්ඨො නාතපුත්තො’ යනුවෙන් යෙදිය යුතු බවත් පෙන්වා දුන්හ. එයට හේතු පෙන්වා දෙන එහිමියෝ නිගණ්ඨ නාතපුත්ත තෙමේ නටන්නකුගේ පුතකු නොවන බවත්, ඤාත නම් ලිච්ඡවීන්ගේ ක්ෂත්‍රිය ගෝත්‍රයට අයත් රාජ කුමාරයකු බවත් පෙන්වා දුන්හ.
තවද: වැලිවිටියේ සෝරත හිමියෝ උන් වහන්සේගේ ‘පාලි පොත්හි වැරදි තිබෙන තැන් කීපයක්’ නම් ලිපියේදී උපාලි සූත්‍රයේ එන ‘පදකස්ස’ යන පදයට ‘පදීපස්ස’ යනුවෙන්ද, ‘යක්ඛස්ස’ යන්නට ‘අක්ඛස්ස’ යනුවෙන්ද යෝජනා කරති. තවද උන් වහන්සේ ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍යව‘ යන තැන හා ‘උරුවෙලා’ යන්නට ගත යුතු නියම අර්ථය සම්බන්ධයෙන්ද නව යෝජනා ඉදිරිපත් කරති.
04. පැරණි ග්‍රන්ථ පරිවර්තනය හා කළ පරිවර්තන අලුත් කිරීම
මේ වන විට පාලි බෞද්ධ පාඨ ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් සිංහල, ඉංග්‍රීසි, බුරුම, තායි හා ප්‍රංස ආදි භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති අතර, තවත් ග්‍රන්ථ ගණනාවක් එසේ පරිවර්තනය වී නැත. පාලි අටුවා හා ටීකා පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ පරිවර්තන සිදු වී නැත. මෙම තත්ත්වය පාලි නොදන්නා පර්යේෂකයන්ට මහත් ගැටලුවකි. මහාවංසය ඉංග්‍රීසි භාෂාවෙන් ගයිගර් පරිවර්තනය ඇසුරෙන් කියැවිය හැකි මුත්, පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පෙන්වා දෙන ආකාරයට එයින් පාඨකයාට ගැටලු රාශියකට මුහුණ දී වැරදි අර්ථ විවරණ කියැවීමට සිදු වේ.
තත්ත්වය මෙබඳු බැවින් පාලි පරිවර්තනයක් මැනවින් කිරීමට තරම් පාලි භාෂා පරිචයක් ඇති භාෂා ශාස්ත්‍රඥයෝ ථේරවාද බෞද්ධ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යය. මෙහිදී අටුවා, ටීකා, ප්‍රකරණ, සන්න, ගැටපද, සමාන්තර සංස්කරණ, පාඨ ග්‍රන්ථය නිෂ්පාදිත කාලයට සමකාලීන සමාන අන්තර්ගතයන් ඇති වෙනත් ග්‍රන්ථ, ව්‍යාකරණය, ඡන්දස හා ශබ්දකෝෂ යන මේ සියල්ලද පාලි පරිවර්තනයක නියැලෙන සාර්ථක පරිවර්තකයකු විසින් භාවිත කැරේ. පරිවර්තනයකදී දුරවබෝධ පාඨ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම වැදගත් වේ.
05. මූලාශ්‍රයන්ගේ අන්තර්ගතය හඳුනාගැනීම මගින් බෞද්ධ අධ්‍යයනය පුළුල් කිරීම
යම් පාඨ ග්‍රන්ථයක් සංස්කරණය වී පරිවර්තනය වීමෙන් පසු කළ යුතු කාර්යය වන්නේ එහි අන්තර්ගතය හඳුනාගැනීමය. යම් පාඨ ග්‍රන්ථයක් ලෝකයට හඳුන්වාදීමේදී වැදගත්ම කරුණ වන්නේ එම පාඨ ග්‍රන්ථයෙන් ඉදිරිපත් වන අන්තර්ගතයයි. එම අන්තර්ගතයට අනුව එම පාඨ ග්‍රන්ථය ව්‍යාකරණ කෘතියක්ද?, එසේ නම් කවර සම්ප්‍රදායකට අයත්ද?, මෙහි ඇති විශේෂතා මොනවාද?, ධර්ම ග්‍රන්ථයක්ද?, විනය ග්‍රන්ථයක්ද?, මෙහි එන විවරණ මොනවාද? යන අංශ කෙරෙහි සැලකිලිමත් විය හැකිය.
06. වෙනත් විෂයයන් සමඟ සැසඳීම
ග්‍රන්ථයක අන්තර්ගතය හඳුනාගැනීමෙන් පසු එය විවිධ විෂයයන් සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව අදාළ පාඨ ග්‍රන්ථයෙන් බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, නීතිය, කළමනාකරණය හා වෛද්‍ය විද්‍යාව යනාදි නොයෙක් විෂයයන්ට අදාළ කරුණු මතු කරගත හැකි ය. පුරාවිද්‍යාව වැනි විෂයයන්ගෙන් සොයාගන්නා කරුණු සනාථ කරගැනීමටත්, සොයා නොගත් කරුණු පිළිබඳව දැනුමක් ලබාගැනීමටත් මෙවන් අධ්‍යයන හේතු වේ. මෙමගින් අනෙකුත් විෂයයන් සංවර්ධනය කරගැනීමට ලැබෙනුයේ නොමඳ අනුග්‍රහයකි.
07. මානසික සංවර්ධනය
විශේෂයෙන්ම ථේරවාදයට සම්බන්ධව ආධ්‍යාත්මික දියුණුවෙන් සැපයිය හැකි නායකත්වයක් නැති වීම මෙම අධ්‍යයන ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති කොට ඇත. මේ අතර දලයි ලාමා හා හ්ෂිං යූ වැනි ආධ්‍යාත්මික නායකයන්ගෙන් සැපයෙන පෞරුෂය නිසා මේ වන විට ලොව පුරා චීන හා තිබ්බත අධ්‍යයන සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීම සිදු වේ. බුදුදහම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන බටහිර ජාතිකයෝ එය යථාර්ථ වශයෙන් අවබෝධ කරගැනීමටද සාමාන්‍ය ජීවිතයේදී ඇති වන විඩාව දුරු කරගැනීමටද මහා පරිමාණයෙන් භාවනාවට යොමු වෙමින් සිටිති. එහෙත් ලෝකයේ ඇති වූ මෙම අවශ්‍යතාවන්ට සරිලන සේ ථේරවාද බෞද්ධයන්ගේ ක්‍රියාත්මක වීමක් දැකිය නොහැකිය.
අප විසින් මෙතෙක් කරුණු දක්වන ලද්දේ ලාංකික ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය සම්බන්ධයෙන් අනිවාර්ය අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් පිළිබඳවය. මේ වන විට අප සම්ප්‍රදාය ගිලෙන්නට යන නැවක ස්වරූපයකින් පවතී. ඇතැම් විට ජනකාන්ත ස්වරූපයකින් ඉදිරිපත් වන බෞද්ධ රැළිම මෙහි විනාශයට හේතු වී තිබේ. එබැවින් කළ යුත්ත වටහාගෙන එහි නොපමා විය යුතුය. අතීතය අමතක නොකොට, අතීතයෙහි හර පද්ධතිය රැකගැනීමට වැර දරන්නේ නම් මේ ගැටලු අවම වනු ඇත.

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.