සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

බෝධි වන්දනාවේ ඉතිහාසය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, 
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, 

මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන්ට වැදගත්වන කරුණු අතර ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවීම විශේෂත්වයක් ගනී. සඟමිත් මෙහෙණින් වහන්සේ විසින් ලංකාවට වැඩම කරවන ලද බෝධි ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කිරීම ශ්‍රී ලංකාවේ බෝධිපූජා සංස්කෘතියේ සමාරම්භක අවස්ථාව ලෙස සනිටුහන් කළ හැකි ය.
බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනා පුද පූජා පැවැත්වීම සඳහා පූජනීය වස්තුවල අවශ්‍යතාව සැදැහැවතුන් තුළ ඇතිවූයේ බුදුන් ජිවමාන කාලයේදීම ය. ඒ සඳහා පළමු පියවර වශයෙන් යොදාගෙන ඇත්තේ බෝධිවෘක්ෂය බව ජාතකට්ඨකතාවෙහි එන ආනන්ද බෝධි කතාවෙන් පැහැදිලි වෙයි. බුදුන් පිරිනිවන් පෑමෙන් පසු මෙකී අවශ්‍යතාව වඩාත් වර්ධනය වූයේ උන්වහන්සේගේ නියෝජනයක් බෞද්ධ ප්‍රතිපදා මාර්ගය මෙන් වත් පිළිවෙත් පුද පූජා චාරිත්‍ර අනාගත පරපුරට ගෙනයාමේ දී වැදගත් වූ නිසා ය. මේ අතින් බලනවිට මුල් යුගයේ බෝධිය ප්‍රමුඛත්වයක් ගත් බව සාංචි හා භාරුත් වැනි ස්ථාන වල බෞද්ධ කැටයම් වල බුදුන් වහන්සේ නියෝජනය කිරීමට බෝධි වෘක්ෂය සංකේතයක් වශයෙන් ඉදිරිපත් කර තිබීමෙන් පෙනේ. සාංචි හා අමරාවතී මූර්ති කලාවේදී එය නිරූපණය කර ඇත්තේ මල් මාලා වලින් සරසනු ලැබ එයට කැපවූ භක්ති වන්තයින්ගෙන් වටකරනු ලැබ තිබෙන ආකාරයටයි. භාරුත් ස්තූපයේ ඇති කැටයම් වල මිනිසුන් හා සතුන් බෝධියට වන්දනා කරන අයුරු නිරූපිතයි. ක්‍රි.ව. දෙවන සියවසට පමණ අයත් මෙම කැටයම් බෝධි පූජාව පිළිබඳ දෘෂ්ටි ගෝචර නිදසුන් දැක්වෙන පැරණිම සාධක වශයෙන් සඳහන් කළ හැකි ය.
“බෝධි” යන වචනයෙහි තේරුම සතර ආර්ය මාර්ගය පිළිබඳ පවත්නා වූ ඥානයයි.” බෝධින් වුච්චති චතුසු මග්ගේසු ඤාණං” යනුවෙන් මහා බෝධි වංශයෙහි නිර්වචනය කරයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර ආර්ය මාර්ග සංඛ්‍යාත වූ සම්‍යක් සම්බෝධියට මේ ඇසතු රුක් මුල්හිදි පැමිණි හෙයින් එම වෘක්ෂය ද බෝධි යනුවෙන් නම් ලබන බව තවදුරටත් විස්තර කරනු ලබයි. ඒ අනුව පාලියෙහි අස්සත්ථ හෝ පිප්ඵල නමින් ව්‍යවහාර වන මෙම බෝ වෘක්ෂය බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වාවබෝධය හා සම්බුද්ධ වන නිසා බෝධිය හෙවත් බෝධි වෘක්ෂය යනුවෙන් බෞද්ධ සම්ප්‍රදාය තුළ ගෞරව පුද ලබන පූජනීය වස්තුවක් බවට පත්වී ඇත. මෙම වෘක්ෂය පූජනීයත්වයට හා ගෞරවයට පාත්‍ර වීම ආරම්භ වන්නේ බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ බෝධි මූලයෙහිම සතියක් ගෙවා ඉන් නැගිට බෝධීන් වහන්සේට උතුරු දෙසින් සිට බුදු බව ලැබීමට උපකාරී වූ මේ බෝධි වෘක්ෂයට පූජාවක් කළ යුතු යැයි සිතා ඇසිපිය නොහෙළාම සතියක් මුළුල්ලේ බලා සිටියහ. එය නේත්‍ර පූජාවකි. එයට අනිමිසලෝචන පූජාව යැයි කියනු ලැබේ.”
දෙවැනිව බුදුරජාණන් වහන්සේ නොසිටින අවස්ථාවක උන්වහන්සේ වෙනුවට පෙනී සිට පුද සත්කාර ලැබීමට සුදුසු යමක් යෝජනා කරන ලෙස ආනන්ද හිමියන් බුදුරදුන්ගෙන් ඉල්ලූ විට උන්වහන්සේ පිළිතුරු දෙමින් වදාරා ඇත්තේ තමන් වහන්සේ ජීවත්ව සිටින විට හෝ පිරිනිවන් පෑමෙන් පසු හෝ මේ සඳහා බෝධි වෘක්ෂය සුදුසු බවයි. ඉන් පසු බුදුන් වහන්සේගේ අනුදැනුම මත ආනන්ද හිමි මොග්ගල්ලාන හිමියන්ගේ අනුග්‍රහයෙන් බුද්ධගයාවේ බෝධි වෘක්ෂයෙන් බීජයක් ලබාගෙන ජේතවන විහාර පරිශ්‍රයෙහි දොරටුව ඉදිරිපස රෝපණය කරනු ලැබුවේ බැතිමතුන්ගේ ඉදිරිපිටදීය. එකෙනෙහිම එයින් පනස් රියන් උස සතර දිශාවට විහිදුණු අතුපතර ඇති බෝධි වෘක්ෂයක් පැන නැංගේ ය. මෙම වෘක්ෂය පූජනීයත්වයට පත්කරන ලෙස අනඳ හිමියන් බුදුන්ට ආයාචනා කළ විට උන්වහන්සේ එම වෘක්ෂයට පිට දී වැඩහිඳිමින් ධ්‍යානයට සමවැදුණු බව සඳහන් වෙයි. සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව බැතිමතුන් විසින් පවත්වන ලද ප්‍රථම බෝධි පූජාව වශයෙන් මෙය හැඳින්විය හැකි ය.
ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේ දී අනුරාධපුර මහමෙව්නා උයනෙහි දඹදිවින් වැඩම කරවන ලද බෝධි ශාඛාව රෝපණය කිරීම පිළිබඳව බොහෝ තොරතුරු මහාවංශය විනයට්ඨකතාව, බෝධිවංසය ඇතුළු ග්‍රන්ථ කිහිපයකම ඇතුළත් වෙයි. ධර්මාශෝක රජතුමා මෙන්ම එකල ශ්‍රී ලංකාවේ රජකළ දේවානම්පියතිස්ස රජතුමා ද බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වූ ආකාරය පිළිබඳව මේ සියලුම ග්‍රන්ථවල විස්තර දක්වා ඇත්තේ එකම ආකාරයටය.

ප්‍රතිහාර්ය රැසක්

බෝධි ශාඛාව ගැනීමට යාමේ දී ප්‍රාතිහාර්ය රාශියක් ඇති වූ බව මේ සියලු ග්‍රන්ථවල සඳහන් වෙයි. එම ප්‍රාතිහාර්යයන් දුටු අශෝක රජු මුළු දඹදිවම බෝධියට පූජා කරනු ලැබීය. එපමණක් නොව මලින් හා සුවඳින් බෝධිය පූජා කරමින් තුන්වරක් බෝධිය වටා ප්‍රදක්ෂිණා කර මහා පූජෝත්සවයක් පැවැත්විය. අශෝක රජුගේ මහේෂිකාව වන අසන්ධිමිත්‍රා දේවියද රන් මුතු මැණික් වලින් බෝධියට පූජෝපහාර දැක්වූවා ය.
සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ලක්දිවට බෝධි ශාඛාව වැඩමවීමෙන් පසු එහිදී ද සිදු වූ ප්‍රාතිහාර්ය කතා රාශියක් ගැන මහාවංශය හා බෝධිවංසය ඇතුළු ලංකාවේ ලියවුණු ග්‍රන්ථවල වර්ණනා විෂය ඉක්මවා යමින් ඉදිරිපත් කර ඇත. අශෝක රජු මෙන්ම බෝධි ප්‍රාතිහාර්යය දුටු දෙවනපෑතිස් රජු ද ශ්‍රී ලංකාද්වීපයම බෝධීන් වහන්සේට පූජා කරනු ලැබීය. අනුරාධපුරයෙහි බෝධි ශාඛාව රෝපණය කිරීමෙන් රජතුමා ඇතුළු සියලු රටවැසියෝ උත්සව පැවැත්වූහ. බෝධීන් වහන්සේ වැඩම කරවීම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් සලකනු ලබන්නේ ජීවමාන බුදුන් වහන්සේගේ වැඩමවීම හා සමාන ගෞරව භක්තියකින්ය.
මේ බෝධිය ගෙන එද්දී දහඅට කුලයක කර්මාන්ත කාරයන් ද ඒ සඳහා පුද සත්කාර කිරීම සඳහා පැමිණි බව මහාවංශය සඳහන් කරයි. “එහි කුලයන් යනුවෙන් අදහස් කරන්නේ වර්තමානයෙහි පවත්නා කුල නොව කර්මාන්තකරුවන් බව බද්දේගම විමලවංස හිමියන්ගේ මතයයි.” ඒ අනුව බෝධිය සඳහා පවත්වන ලද උත්සව හා පූජා සත්කාර දෙවනපෑතිස් රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් රජවරුන් ද දිගටම උත්සවාකාරයෙන් සිදුකළ බව මහාවංශයෙහි සඳහන් වෙයි. දුටුගැමුණු රජු බෝධීන් වහන්සේට පූජා පිණිස ලක්ෂයක් වටිනා ධනය වැය කර මහා උත්සවයක් පවත්වන ලදී. බෝධිය පැනින් නැහැවීමේ (බෝධි සිනාන) පූජාවක් භාතික අභය රජු විසින් පවත්වා ඇත. ධාතුසේන රජතුමා විසින් ද මේහා සමාන වූ (ධාතුසිනාන පූජා) බෝධිය පැනින් නැහැවීමේ උත්සවයක් පැවැත් වූ අතර, මෙය අද දක්වාම පවත්වාගෙන එන ජනපි‍්‍රය බෝධි පූජා විධියකි. සිරිමේඝවණ්ණ, සිලාකාල, තුන්වෙනි මුගලන්, දෙවැනි මහින්ද ආදී තවත් බොහෝ රජවරුන් විසින් පවත්වන ලද බෝධි පූජා උත්සව පිළිබඳ විස්තර වංශකතාවන්හි ඇතුළත් වේ.

බෝධි පූජා

ගිහි සැදැහැවතුන් පමණක් නොව භික්ෂූන් වහන්සේලා විසින් පවත්වන ලද බෝධි පූජාවන් ගැන විස්තර පැරණි බෞද්ධ පොත් පත් වල දක්වා ඇත. පාලි සීහලවත්ථු හා රසවාහිනි යන ග්‍රන්ථවල ලංකාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් බුද්ධගයාවේ මහාබෝධිය වන්දනා කිරීමට යාම පිළිබඳ පුවතක් ඇතුළත් වේ. “එසේම ක්‍රි.ව. හතරවෙනි ශත වර්ෂයේ දී සිරිමේඝවණ්ණ රජතුමා විසින් ලංකාවේ භික්ෂූන් වහන්සේලා දෙනමක් පිටත්කර බුද්ධගයාවේ මහබෝධිය වන්දනා කිරීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට නැවතීමට ස්ථානයක් ඇති කන ලෙස ඉල්ලීමක් කරන බව ද සඳහන් වේ.” තවද බොහෝ දුර බැහර සිට අනුරාධපුර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන භික්ෂූන් වහන්සේලා ගැන අට්ඨකතා වල නිතර නිතර දැක්වේ. බෝමළුව ඇමදීම හා පැනින් නැහැවීම ද භික්ෂූන් වහන්සේට අයත් ආවාසික වතාවත් වල කොටසක් ලෙස විභංග අට්ඨකතාව විස්තර කරයි. “සුමංගලවිලාසිනී” දීඝ නිකාය අටුවාවේ සඳහන් වන්නේ භික්ෂුවක් තම දෛනික කටයුතු වලදී පළමුව බෝධි වෘක්ෂය කරා ගොස් ඊට පුද පූජා කර ඊළඟට චෛත්‍යයට වන්දනා කර ඉන්පසුව පමණක් පිණ්ඩපාතය සඳහා ගමට පිවිසිය යුතු බවයි.”
ආරාමයකදී බෝධියට ලැබෙන්නේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන්ට ලැබෙන ගෞරවයට පමණක් දෙවෙනි තැනකි. බෝ ගසක අත්තක් කැපීමට අවසර ලැබුණේ එයින් සර්වඥධාතු නිදන් කොට ඇති චෛත්‍යයකට හෝ ප්‍රතිමාවකට හෝ ආසන ඝරයකට හෝ බාධාවක් වූ විට පමණි. නැතහොත් දිරාපත්වූ හෝ දුම්මලකාරී ආදිය වෑස්සෙන අත්තක් කැපීම මිනිස් කයට සැත්කමින් සුවයක් වන්නා සේ ගස සුවසේ වැඩීමට පිළියමක් වන්නේ නම් පමණි. අත්තක වසන පක්ෂීන් සෑය මත වසරු කළහොත් එවිටද අත්තක් කැපීම වරදක් නොවේ. එහෙත් වෙන මොනම කරුණක් නිසාවත් බෝ අත්තක් කැපීම තහනම් විය.
බෝධිය අතුපතර විහිදෙමින් නිරන්තරයෙන් වැඩෙන වෘක්ෂයක් ගෞරවය හා ආරක්ෂාව පිණිස බෝගසක් බෝගෙයක් හෙවත් බෝධිඝරයක් කරවීම පැරණි සම්ප්‍රදායකි. මෙම බෝධිඝරය සාදන ලද්දේ චෛත්‍යයට මෙන් උඩින් නොව අතු වලට පහතින් බෝගස වටේටය. ඇතැම්විට බෝගෙය තුළ බුදුපිළිම තැන්පත් කිරීම ද සිදුවිය. මහාවංශයේ කිහිප තැනකම බෝධිඝර ගැන සඳහන් වී තිබේ. අද වන විට මෙම සාම්ප්‍රදායික ගොඩනැඟිල්ල අපේ විහාරස්ථාන වල අභාවයට ගොස් ඇත.
බෝධිය හා සම්බන්ධ තවත් විහාරාංග කිහිපයක්ම නිර්මාණය වූ බව සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් ද පැහැදිලි වෙයි. බෝධිය වටා ප්‍රාකාරය බැඳීම අනිවාර්ය වූ අංගයකි. ප්‍රාකාරයෙන් වටවූ බෝමළුවේ සතර දිසාවේ තොරණ සතරක් ද බෝධිය වටා වේදියක් හෙවත් උස්ගල් මළුවක් ද විය. මෙය සලපතළ මළුව නමින් ද ව්‍යවහාර වේ. වන්දනාකරුවන් බෝධීන් වහන්සේ වැඳීමට දණ ගැසුවේ මෙම මළුවෙහිය. ජය ශ්‍රී මහා බෝධිය වටා උඩමළුව, පහත මළුව හා වැලි මළුව වශයෙන් තුන් මළුවක් වූ බව මහාවංශය සඳහන් කරයි.”
බෝධි වන්දනාව ව්‍යාප්තවීමත් සමඟ බෝධිය හා සම්බන්ධ වෙනත් ඉදිකිරීම් එකතු වූ අතර අද වන විට බෝධිය වටා රන් වැටක් ඉදිකිරීම විහාරයක අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. එය බෝධිය මුල් කරගත් භක්තිවාදයේ වර්ධනය පෙන්නුම් කරන තවත් අවස්ථාවක් වශයෙන් සඳහන් කළ හැකිය.

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.