සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

දෙවිනුවර රජමහා විහාරය

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා මාතර සිට කි.මී. 06ක් දුරින් ‍දෙවිනුවර රජමහා විහාරය පිහිටා ඇත. පැරණි රෝහණයේ රාජ්‍ය විචාල I වන දප්පුල රජතුමා විසින් කර වූ බවට ද 8 වන සියව‍‍සේ දී කරවූ බවට ද සාධක ඇති කිහරැලි පිරි‍වෙණ ‍මෙම විහාරය බව පිළිගැ‍නේ. ‍දෙවිනුවරින් හමු වූ ශිලා ‍‍ලේඛනයකට අනුව, I වන විජයබාහු රජු (ක්‍රි.ව. 1055 – 1110) ‍‍මෙම ස්ථාන‍‍‍යේ වූ පැරණි විහාරයක් සංරක්ෂණය කළ බවට සාධක ඇති අතර එය ‍මෙකී විහාරය විය යුතු ය. නිශ්ශංක මල්ල රජු (ක්‍රි.ව. 1187 – 1196) ඔහුගේ ශිලා ‍ලේඛනයක සඳහන් කර ඇත්තේ ‍දෙවිනුවර විහාරයට ගොස් පුද පූජා කළ බවයි. වංශකථාගත සාධක මත දඹ‍දෙණියේ රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් වූ වීරබාහු විසින් ‍මෙම ස්ථාන‍යේ නන්දන පිරි‍‍වෙණ පිහිටුවා ඇත. 13 -14 සියවස්වලදී වරින්වර ප්‍රතිසංස්කරණයන්ට ලක් වූ විහාරය පසුව පෘතුගීසි ආක්‍රමණ හමු‍වේ විනාශයට පත් වී ඇත.
 
දෙස් විදෙස්හි සුපතල දෙවිනුවර ඓතිහාසික පරම විචිත්‍රාරාම රජ මහා විහාරස්ථානයේ වගතුග සොයා බැලීමේදී අනාවරණය වන්නේ එම විහාරස්ථානයට දිගු ඉතිහාසයක් ඇති බවය. දාපුලුසෙන් රජු මෙම විහාරය ඉදිකිරීමට මූලික වූ බව සිංහල වංශ කතාවේ දැක්වේ. 6 වැනි අග්බෝ රජුට හා මානවම්ම රජුට විහාරස්ථානය වරින් වර පිළිසකර කිරීමේ ගෞරවය හිමිවෙනු ඇත.

දර්ශනීය ධර්ම මන්දිරය
පැරැණි රජ දරුවන් කල දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරස්ථානය නම් කර ඇත්තේ ගිරිහෙල් විහාරස්ථානය වශයෙනි. දෙවිනුවර පැරැණිම නාමය ගිරිහෙල්පුර වූ නිසා ගිරිහෙල් විහාරස්ථානය වශයෙන් නම් කෙරුණු බවටද තොරතුරු අනාවරණය වේ. බෞද්ධ විහාරස්ථානයකට අයත් සියලුම අංගවලින් සමන්විත මෙම විහාරය මෑත කාලයේදී ශීඝ්‍රයෙන් සංවර්ධනයට යොමු වී ඇති බව පැහැදිලි වේ. මෙම විහාරස්ථානය කලකදී කිහිරැළි වෙහෙර නමින්ද හඳුන්වා ඇතැයි ශාසන ඉතිහාසයේ දැක්වේ. කිහිරි කඳකින් නෙළන ලද දේව ප්‍රතිමාවක් තැන්පත්කොට ඉදිකරන ලද දේවාලයක් හා විහාරස්ථානයක් එකම භූ®මියේ දර්ශනීය ලෙස පිහිටීම නිසා කිහිරැළි වෙහෙර නමින් ව්‍යවහාර වූ බව පිළිගත හැකිය.දෙවිනුවර පුදබිම් මධ්‍යයේ පිහිටි බුබ්බුලාකාර චෛත්‍ය නිසා පුදබිමේ අලංකාරය දෙගුණ තෙගුණ වී ඇත.ක්‍රි.ව. 660- 665 අතර වකවානුවේදී චෛත්‍ය ගොඩනැඟුණු බව එහි ඇති සෙල් ලිපියකින් දැක්වේ. දකුණූ පළාතේ බුබ්බුලාකාර හැඩයෙන් ඉදි වූ ප්‍රධානතම චෛත්‍යයකි. සර්වඥ ධාතුන් වහන්සේද සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේද මෙම චෛත්‍යයේ නිදන් කර ඇත.
ක්‍රි.ව.1066 දී මහ විජයබා රජු චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර දර්ශනීය වටදාගෙය නිර්මාණය කළ බව මහාවංශයේ දැක්වේ. රෝහණ දේශයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ගැන සඳහන් වන්නේ නම් ඒ දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරයේ චෛත්‍ය සම්බන්ධයෙනි. එම වටදාගෙයි නෂ්ඨාවශේෂ වූ ගල්කණුවල කොටස් අද ද චෛත්‍ය වටා දිස්වේ. මෙම චෛත්‍ය ඉදිරිපස දර්ශනීය බුදුමැදුරක් හා දෙපස කුඩා දේවාල දෙකක්ද ඇත.චෛත්‍ය මළුවේ ගනේෂ දේවාලයද ශෛලමය වෘෂභ රූප දෙකක්ද නිර්මාණය කර ඇත.
විහාරස්ථානයේ ප්‍රධානතම නිර්මාණශීලි විහාරාංගයක් වන ඔත් පිළිමගෙය ක්‍රි.ව. 1306 දී 4 වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද බවට ශාසන ඉතිහාසයේ දැක්වේ. පසුකලෙක මෙම ඔත් පිළිමගෙය පෘතුගීසින් විනාශකර දමා ඇත. ඉන්පසු නැවත ප්‍රතිසංස්කරණය කෙරුණ අතර එම පිළිමගෙයි වන දර්ශනීය සැතපෙන බුදුපිළිමයද බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා දැක්වෙන නිර්මාණද මනස්කාන්තය. බිතුසිතුවම් ඇතුළු එම නිර්මාණ ඉරිතැලීම් වලට ක්‍රමයෙන් ලක්වී ඇති බවද පෙනේ.

විහාරාධිපති දෙවිනුවර සිරි සුනන්ද අනු නා හිමි
ඔත් පිළිමගෙයි ඉදිරිපස හිටි පිළිමගෙය ද පිහිටා ඇත. මෙය ක්‍රි.ව. 1347 දී ගම්පොළ රජකළ බුවනෙකබා රජුගේ රාජ සභාවේ සිටි සේනාධිලංකාර ඇමැති විසින් කරවන ලද බවටද විහාර වංශයේ දැක්වේ.
දෙවිනුවර රජමහා විහාරස්ථානයේ සංඝවාසය දැන් අනුක්‍රමයෙන් දිරාපත්වීමේ අවදානමට ලක්වන බවද පෙනේ. ඉපැරැණි ධර්ම ශාලාවද නවීකරණයට ලක්කර ඇති අතර සංඝාවාසය දැනට ඇති ස්ථානයේම නවීන පහසුකම්වලින් සමන්විතව ඉදි කිරීමටද කටයුතු කරගෙන යන බව වාර්තා වේ.කාලාන්තරයක් තිස්සේ විහාරස්ථානයට මහත් අඩුපාඩුවක් ව පැවැති ඝණ්ඨාර කුලුන හා වාහල්කඩ පරිත්‍යාගශීලින්ගේ ආධාරමත දර්ශනීය ලෙස ඉදිකර ඇත.
දෙවිනුවර පරමවිචිත්‍රාරාම රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකත්වය වඩාත් වැඩි වූයේ එහි උපුල්වන් ශ්‍රී විෂ්ණූ මහාදේවාලය පිහිටීම නිසාය. දාපුලුසෙන් රජු (ක්‍රි.ව. 660 – 665) විසින් මහා සාගරයෙන් පාවී ආ කිහිරි කඳකින් නිර්මාණය කළ දේවරූපය තැන්පත් කොට දෙවිනුවර දේව මන්දිරය ඉදි කෙරිණි. මහා දේවාලය ආශි‍්‍රතව පරිවාර දේවාල 7 ක් හා බස්නායක නිලමේ නිල කාර්යාලයද ඉදි කර ඇත. විහාර දේවාල ගම් ආඥාපනත යටතේ රජයේ අනුග්‍රහය ලබන මෙම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර උත්සව සමයේදි දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් පුද බිම පිරී ඉතිරී යයි. දෙවිනුවර පුද බිමට දිනපතා බෝධී පූජාපින්කම් සඳහා එක් වන බැතිමතුන්ගේ අනුග්‍රහයෙන් බෝධින් වහන්සේ වටා බුදු කුටි 28 ක් තනවා ඇත. අටවිසි බුද්ධ පූජා පින්කම් දිනපතා පැවැත්වීම දැන් සිරිතක් වී ඇත.පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කර විහාරස්ථානය ඉදිරිපිට දර්ශනීය බුද්ධ ප්‍රතිමාව ඉදි කර ඇත. අඩි 63 ක් පමණ උස මෙම බුදුපිළිමය දුටුවන්ගේ සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පුබුදු වේ.

ශ්‍රී උපුල්වන් මහාදේවාලය
මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් ප්‍රධාන රජයද දෙවිනුවර පුද බිමේ සංවර්ධනයට දක්වන අන්‍රග්‍රහය පැසසුමට ලක් කළ යුතු බව වර්තමාන විහාරාධිපති ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක දෙවිනුවර සිරි සුනන්ද නාහිමියෝ සඳහන් කරති.එමෙන්ම දෙවිනුවර පූජා භූ®මියේ සංවර්ධනයට දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සේවයද අති ඉමහත්ය.
විහාරස්ථානය හා දේවාලයට පිවිසෙන ප්‍රධාන දොරටුවේ රුපියල් ලක්ෂ 200 ක් පමණ වැය කර දර්ශනීය වාහල්කඩ ඉදි කිරීමට මූලික වූයේද බස්නායක නිලමේවරයා බව කිව යුතුව ඇත.එම දර්ශනීය වාහල්කඩ නිරාවරණය කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් විසින්ය. ඉපැරැණි විශ්‍රාම ශාලාව නවීකරණය කර බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් නංවාලීමට බස්නායක නිලමේවරයා ගන්නා උත්සාහය අගය කළ යුතුය. පුද බිමේ පෞරාණිකත්වයට කිසිම හානියක් නොවන පරිද්දෙන් විවිධ නිර්මාණයන් කිරීමටද සැලසුම් කර ඇත.
විහාරස්ථානයේ සුවිශේෂි විහාර කර්මාන්තයක් වශයෙන් දෙමහල් ධම්මපද විහාරය ඉදිකිරීමට පියවර ගෙන ඇත්තේ විහාරාධිපති සිරි සුනන්ද අනුනායක හිමියන්ගේ අනුශාසනා පරිදිය. ධම්මපද ගාථා 423 ක් වෙනුවෙන් විශේෂ සිතුවම් ද දර්ශනීය ධාතු කරඬුවක්ද නිර්මාණය කර බැතිමතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වර්ධනය කිරීම ධම්මපද විහාරය ඉදි කිරීමේ අරමුණයි.
සටහන හා ඡායාරූප
මාතර විශේෂ: ජයා වික්‍රම සුරේන්ද්‍ර
බුදුසරණ

වාරණ



කොළඹ - නුවර ගමන් මගෙහි තිහාරිය මං සන්ධියෙහි ඕගොඩ‍පොළ - නිට්ටඹුව බස් රථය මොහොතක් නතර කර තිබිණි. කොළඹ සිට පැමිණි අපට ඕගොඩපොළට ධාවනය වන බස්රථය ඈත තියාම යාන්තමට දිස්විණි. අප පය ඉක්මන් කළේ එම බස්රථය අපට මග හැරේවි යැයි සිතුණු නිසාවෙනි. අපගේ ගමනේ අරමුණ වාරණ පන්සලට යෑමයි.
රටේ කා අතරත් “වාරණ බෞද්ධ සිද්ධස්ථානය” පූජනීයත්වයෙහිලා සැලකෙන බව අපි දැන සිටියෙමු. සැතපුම් කිහිපයක් නගරයෙන් එපිට පිහිටි මේ විහාරස්ථානය ඓතිහාසික වශයෙන් මෙන්ම සෞන්දර්යෙන්ද අනූන බව නියමිත බස්නැවතුමෙන් බට අපට හැගී ගියේය. මෙතැන් සිට “සන්නස” අපි සටහන් කරන්නේ ඒ සුන්දර වාරණ පිළිබද තතුයි.
අද ප්‍රදේශයක් හැදින්වෙන තරමට වාරණ ප්‍රසිද්ධ නමුත් ඒ නමින් ගමක් ප්‍රදේශයක් නැත්තේය. පිහිටි ග්‍රාමයේ නම මංගලතිරියයි. මුල්කාලයේ “මංගල විහාරය” ලෙස හැදින් වූ මේ පන්සල පසු කාලීනව වාරණලෙන ලෙස හැදින්විය. ඊට මුල් වූ ප්‍රවාදයන් කිහිපයක්ම ඇත. වාරණ පන්සල පිහිටි ප්‍රදේශය මංගලතිරිය ලෙස නම් වන්නට ඇත්තේ මෙහි මංගල තූර්යවාදනය පිණිස පැමිණියවුන් පිරිසක් මේ ප්‍රදේශයේම පදිංචි වූ නිසා යැයි සැලකේ.
වාරණ යනු හස්ති වාචක නාමයකි. බැලූ බලූ දිසාවෙන් පිහිටි ගල්කුලු නිසා මේ නම පට බැදෙන්නට ඇතැයි ගැමියෝ විශ්වාස කරති. එසේම අනෙක් ප්‍රවාද වන්නේ “වා” නැමැති ගස් බහුල වශයෙන් වූ අරණක් නිසා වා අරණ, වාරණ වූ බවයි.
තවත් ත්‍රාසය දනවන ජනප්‍රවාදයක් ඇති බව ප්‍රදේශවාසී “ඌෂාන්ත රේරෝෂණ” අපත් සමග පැවසීය. ඒ කතාව මෙසේය.
වාරණ පන්සලේ නායක ධූරය හෙබවූ දංගල්ලේ අත්තදස්සී නායක ස්වාමීන්ද්‍රයන් මෙහි වැඩසිටින යුගයේ ඉතා උසකින් හා පළලකින් යුත් ඉඩම්ගල ලෙස හැදින්වෙන ගලට විශාල පක්ෂියෙක් නිරන්තරයෙන් පැමිණීමට පුදුරුවී සිටියලු. ප්‍රවාද අනුව නම් මේ පක්ෂියා මේ රට පක්ෂියෙක් නොව ඉන්දියාවේ හිමාලයේ සිට එන්නෙකි. ඇත් කද ලිහිණි වර්ගයට අයත් වූ පක්ෂියෙක් නිසා වාරණ නමින් හදුන්වා ඇත. ඇත් කද ලිහිණි සාමාන්‍ය මසෙකු ඩැහැගත් දවසක “රිටි” නම් ප්‍රසිද්ධ ගසක සිටි සිය ඩැහැගත් ආහාරය ගනී. ප්‍රමාණයෙන් විශාල මසෙකු නම් මානිංගමගලට හෝ ඉඩම්ගලට ගොස් හිස පමණක් ආහාරයට ගනී. මේ තතු දැන ගත් සීතාවක රාජසිංහ රජු හිස පමණක් කා ඉවත දමන අනෙක් කොටස් එකතු කරවා ගැනීමට “මානියංගම” පවුල් කිහිපයක් යෙදවූවේය. “ගලබලනගේ” නමින් පෙළපත් නාමයක් හිමි පරම්පරාවට හිමිකම් කියන මිනිස්සු අදද මේ ප්‍රදේශයේ වාසය කරති.
මේ සා විශාල පක්ෂියා නිසා ප්‍රදේශ වාසීන්ට අතුරු ප්‍රශ්ණ ඇතිවන්නට විය. දරුණු හඩක් හිමි ඇත්කද ලිහිණියා රාත්‍රියේ නිරන්තරයෙන් කෑගසයි. ඒ හඩ මිනිසුන් බිය වද්දන සුළුය. තැන තැන දැමූ මත්ස්‍ය ආහාර කොටස් නිසා අවට දුර්ගන්ධ විය. වැනි වූ පීඩා නිසා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පක්ෂියා පැමිණෙන අවස්ථාවක වස් කවියක් තනවා කියන්නට වූහ.

රන්වන් තුඩින් ඉගි බිගි කරන ගෙල තුල
මන්සන් තොසින් කියනා දෙය අසව බොල
වංහුං දනිති ගෙදරක නම් මෙතට බොල
දැන් පිං පිණිස වෙන තැනකට යන්න පල
(වාරණ වරුණ පිටු 02)

වාරණ පුරාණ විහාරය ඉතා දිගු ඉතිහාසයකට වගකියන බව නැගෙනහිරින් වූ දිග් ගලෙහි වන සෙල්ලිපිය සාක්ෂි ලබාදෙයි. මේ සෙල් ලිපිය ක්‍රි. පූ. 6 වැනි සියවසට අයත්ය. සෙල් ලිපියේ තොරතුරු මේ ලිපිය මගින් දිගහරින්නට අපි අදහස් නොකරමු. මන්දයත් මිනිසුන් වන අපිට උපන්ගෙයිම කුතුහලය ඇත්තේය. ඔබගේ ශාස්ත්‍රීය හා දැනුම පෝෂණයෙහිලා එකී කුතුහලය නම් පෙළබීම් සාධකය “වාරණ විහාරයට පැමිණි විටෙක” භාවිතා කරත්වා යැයි අපි ඔබට ආරාධනා කරමු.
විහාරය මළු තුනකින් යුක්තය. පළමු මළුවට අපි පිවිසියේ ප්‍රදේශවාසියකු වන ඌෂාන්ත ද සමගිනි. ඔහු අපට වරින් වර විහාරස්ථානය ගැනත් අවට ප්‍රදේශය ගැනත් විස්තර සපයන්නට විය. එය අපට විහාරස්ථානයේ හා අවට පෙදෙසෙහි වටිනාකම් ගැන හදුනා ගැනීමට මහගු පිටිවහලක් විය. විහාරස්ථානයේ දකුණු පසින් දිස්වන්නේ මහා ගල් පර්වතයයි. එය ඉඩම් ගලය. ඉඩම් ගල අඩි 100 කට වඩා උසය. අක්කරයකට ආසන්න භූමි භාගයක් පුරා පැතිර පවතී. විහාරය තුන් පැත්තෙන්ම ලෙන්ය. නැගෙනහිරට වන්නට තවත් ගල්තලාවකි. එය දික් ගලයි. සෙල්ලිපිය කොටා ඇත්තේ මෙහිය. බටහිර වූ ලෙන තුල පැරණි සංඝාවාසය කඩා ඉවත් කොට අලුතින් කරවූ කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්ද අනුස්මරණ පිරිවෙන් ශිෂ්‍ය නිවාසය පිහිටා ඇත. උතුරට අඩක් ලෙන තුල පිහිටි විශාල තෙමහල් ධර්ම මන්දිරයයි. ධර්ම මන්දිරයේ මණ්ඩපයට ඉහළින් සදෙව්ලොව පිළිබදව වූ බිතු සිතුවම්වලින් නිමය. ලෙන තුළ කෝට්ටේ යුගයේ කරවූ වෙස්සන්තර කථා පුවත ඇතුළත් පැරණි සිතුවම්ය.
පහත මළුවේ ඉදිරියෙන් දිස්වන්නේ තෙරුවන් මැදුරයි. උඩු මහලෙහි ධාතු මන්දිරයක්, දෙවන මහලෙහි මංගිරි පිරිවෙන් පුස්තකාලයක් සහ කියවීම්ශාලාවක් ඇත.
දකුණු දෙසට තනි ගල් තලාවේ නෙලා ඇති දර්ශනීය පියගැට පෙළින් යුතු විහාර මගය. පඩි පෙළ දිගේ අප පඩි පෙළ 100 යක් පමණ පසුකර ගමන් කරත්ම පසෙකින් කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍ර ස්මාරකය හා පොකුණ දිස්වේ. කුලුණු යටින් මැද මළුවට පිවිසෙත්ම අප ඉදිරියෙන් වූයේ මහා විහාර මන්දිරයයි. කොටස් දෙකකින් යුක්ත මෙහි පළමු කොටසේ දහඅට රියන් වූ බුද්ධ ප්‍රතිමාවහන්සේ වැඩ සිටියි. එම කුටියේම වළගම්බා රජුගේ සිතුවමත් බිත්තියේ සිතුවම් කර ඇත. 
දෙවන කොටසේ සූවිසි විවරණ හා සත්සති ප්‍රතිමාද, විෂ්ණු දෙවිවරුද කරවා ඇති අතර උඩුගල් වියන පැරණි සිතුවම් රටාවලින් හැඩ කරනවා ඇත. විහාර මන්දිරයට උතුරින් සතර දේවාලයද එම ගල්ලෙන තුළම කරවා ඇත.
දකුණු දිශාව වන්නට ඇත්තේ ලෙන තුළ පිහිටි පැරණි චෛත්‍ය දක්නට ලැබේ. මෙය මේ විහාරස්ථානයේ පුරා විද්‍යාත්මක වශයෙන් දක්නට ලැබෙන වැදගත් සාධකයක් ලෙස අපේ මාර්ගෝපදේශකයා සදහන් කර සිටියේය. ඔහු සදහන් කළ ආකාරයට අනුව ලෙන්තුල කුඩා දාගැබ් ඉදිකිරිම් බුදුදහම ලක්දිවට පැමිණි මුල් යුගයේ කෙරුණු දෙයකි. එය පසු කාලෙක ඇති වූ චේතියඝරවලට එසේත් නැත්නම් චෛත්‍ය ගෘහයන්ට ආකෘති වූ බව පුරා විද්‍යාඥයින් පවා පිළිගන්නා කාරණයක් බව ඔහු තවදුරටත් සදහන් කර සිටියේය.
පහන්ගෙය අසලින් ඉහළට විහිදී යන පඩි පෙළ උඩුමළුවට මං විවර කරයි. එහිදී අන් පරිසරයන්ගෙන් වෙන්වූ උස් භූමිභාගයකට අවතීර්ණ වන බව අපට වටහාගත හැකි වූයේ ඝන වා රැළි අප ගත සොලවද්දීය. මළුවට පිවිසෙත්ම නැගෙනහිරින් සමනල පව්වත් බටහිර සිතිජයේ නිල මහා සයුරේ රේඛාවක් සටහන් ව ඇත. අවටින් ලොකු කුඩා ගිරි ශිඛරයන් තුරුලිය මතින් දිස්වේ. මළුවේ මැද බෝ සමිදුන් අතු පතර විහිදා පරිසරයටම සිහින් සප්ත ස්වරයක් මුදාහරී. දකුණින් දැඩිමුණ්ඩ දෙව්වරුය. ඉදිරියෙන් දැකුම්කළු මකර තොරණයි.
ඉන් ඉදිරියට ගිය අපට දැකගත හැකි වුයේ හිරු බැස යන බවට සන් කරන අහසේ සිත්තම් වූ රන්වන් මිශ්‍ර වූ වළා පෙළයි. මොහොතක් ඒ දෙස බලා සිටි අපට හැගී ගියේ පරිසරයට බද්ධ වූ මිනිස් ජීවිතයට පරිසරය කෙතරම් නම් සමාධි සුවයක් ගෙන එනවාද යන්නයි. සන්නසේ මීළග සංචාරය පිළිකුත්තුව විහාරය ආශ්‍රිතව ගෙන එන අදිටනින් මෙතෙක් දිගහැරි වාරණ සිරිය මෙතැනින් නිමා කරමු.
සටහන - රාජිත විජේසේකර

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.