සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

වළගම්බා රජු කළා යෑයි කියන කබල්ලෑලෙන පුරාණ විහාරස්‌ථානය

වයඹ පළාතේ කුරූණෑගල දිස්‌ත්‍රික්‌කයේ හිරියාල හත්පත්තුවේ පොල්පිතිගම උප දිසාපති කොට්‌ඨාසයට අයත් දාගම ග්‍රාමසේවා වසමේ කබල්ලෑලෙන පුරාණ විහාරය පිහිටා තිබේ. මෙම විහාරය මිටි කන්දක්‌ ආශ්‍රිතව ඉදිකර ඇත.

ඉබ්බාගමුව - පොල්පිතිගම මාර්ගයේ 15 වැනි සැතපුම් කණුව පිහිටා ඇති දාගම හන්දියේ ඇති දාගම විද්‍යාලය අසලින් ඇති ගුරු පාරේ කිලෝමීටරයක්‌ පමණ ගිය පසු විහාරස්‌ථානය හමුවේ.

විහාරස්‌ථානයේ ඇති ලෙන් විහාරය ප්‍රධාන තැනක්‌ ගනී. කඳු පාමුල තට්‌ටු කිහිපයක්‌ සිටින සේ බටහිර දිසාවට මුහුණලා ලෙන පිහිටා තිබේ. මේ ලෙන කොටස්‌ තුනකට වෙන්කර බිත්ති බැඳ ඇත. මුල්ම කොටස කුඩා කාමරයකි. එහි විෂ්ණු දේවාලයක්‌ වෙයි. මහත් හාස්‌කම් ඇතැයි සැලකෙන මේ දේවාලයට භාරහාරවීම පිණිස නිතර මහජනතාව පැමිණෙයි. එහි ඉදිරිපසට බිත්ති නැත.

දෙවන කොටස ශාලාවක්‌ සකස්‌ කර ඇත. මෙම කොටස ධර්ම ශාලාවක්‌ වශයෙන් ප්‍රයෝජනයට ගනී. තෙවන කොටස විශාලය. එය බුදුමැඳුරකි. විහාර මන්දිරයට ඇතුල්වීම සඳහා ඉදිකර ඇති දොරටුව ලීවලින් සකස්‌ කර ඇත. මේ දොරටුව දෙපස බිත්තිය පිටපැත්තේ සිංහ රූප දෙකක්‌ තබා තිබේ. ඒ රූපය දෙපස දේවතා රූප දෙක බැගින් අඹා තිබේ. ඉන් එක්‌ රුවක්‌ කළසක්‌ අතින් දරා සිටින ස්‌වරූපය නිර්මාණය කෙරේ. දොරටුව මකර තොරණකින් යුක්‌තය.

විහාරය තුළ ප්‍රධාන ප්‍රතිමාව ඔත් පිළිමයකි. සිරස නැගෙනහිරට මුහුණලා ඉදිකර ඇත. ලෙන වහලය මිශ්‍ර කර ඇත. සූවිසි විවරණය හා මාර පරාජය චිත්‍ර අතර වේ. ඔත් පිළිමය පාමුල බිත්තිය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය හා ආදාහන උත්සවය චිත්‍රකර තිබේ.

මෙයට අමතරව පැරැණි ස්‌තූපයක්‌ ඇති අතර එය ගරාවැටී මෑතකදී තහවුරු කර තිබේ. අඩි 159 ක්‌ පමණ වෙයි. මෙම ස්‌ථූපය කංචුක ස්‌තූපයක්‌ බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

මෙම විහාරය භූමියේ ලෙන් ලිපි පහක්‌ ඇති අතර ඒවා සියල්ලෙන් සඳහන් කර ඇත්තේ මහා සංඝයාට පිදූ බවයි.

මෙම විහාරස්‌ථානය යුග හතරකට අයත් බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. ලෙන්වල කොටා ඇති ලිපි සියල්ලම දෙවන ශතවර්ෂයට අයත් වෙයි. ඒවා මහා සංඝයාට පූජා කර ඇති බව සඳහන් වෙන නිසා කබල්ලෑලෙන පුරාණ විහාරය මුලින්ම භික්‌ෂු වාසයක්‌ බවට පත්ව තිබේ. ස්‌තූපය දෙවන ශතවර්ෂයත් හත්වැනි ශතවර්ෂයත් අතර කාලයේ ඉදිකර ඇත.

එහෙත් මේ සම්බන්ධ ජනශ්‍රැතියක වළගම්බා රජු මෙහි විහාරය කරවන ලද බව කියෑවේ. එතුමා වනගතව සිටි කාලයේ කබල්ලෑලෙනට පැමිණි බවත්, එවකට එහි කබල්ලෑවුන් සිටි බැවින් උන් ඉවත්කර විහාරය කරවූ බව මේ ජනශ්‍රැතියේ සඳහන්ය. දැනට ඇති විහාරයේ බුදු පිළිමවල ලක්‌ෂණ අනුව ඒවා මහනුවර යුගයට පෙර නිර්මාණය කර ඇති බව පැහැදිලි වෙයි.

කබල්ලෑලෙන රජමහා විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල දක්‌වා දිවෙන ඉතිහාසයක්‌ ඇති විහාරස්‌ථානයකි. කටාරම් කෙටූ ලෙන්වල ඇති බ්‍රාහ්මී සෙල්ලිපි මේ සඳහා සාක්‌ෂි දරයි. අද දැකිය හැකි ස්‌තූපය කලින් පැවැති කුඩා ස්‌තූපයක්‌ වසා ඉදිකර ඇත. වර්තමානයේ විහාර ලෙන තුළ ඇති චිත්‍ර හා ප්‍රතිමා මහනුවර යුගයට හා ඉන්පසු කාලයට අයත් නිර්මාණ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සටහන් කර තිබේ. කබල්ලෑලෙන රජමහා විහාරයේ පිහිටි විහාර ලෙන 1965 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්‌ෂිත 

ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශ කර තිබේ.

එය කෙසේ වුවත් අද පවතින තත්ත්වය අනුව කබල්ලෑලෙන පුරාණ විහාරස්‌ථානයේ චිත්‍ර සහ බුදුපිළිම විනාශයට යමින් පවතී. නිසි නඩත්තුවක්‌ නොමැති නිසා අද විහාර මන්දිරය තුළ වවුලන් පිරී සිටීම නිසා වවුල් ගඳින් පිරී පවතී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අයගේ අවධානය යොමු වී මෙම විහාර මන්දිරය නිසි නඩත්තුවක්‌ කර පිළිම හා චිත්‍ර ආරක්‌ෂා කර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
බමුණාකොටුව - නන්දන සිරි ශාන්ත කුමාර

නෙත් සිත් සනහන රම්බඩගල්ල සමාධි පිළිමය

ඒ වර්ෂ 2001 හි මාර්තු මාසයි. බෞද්ධ හදවත් පාරවන දසුනක්‌ රූපවාහිනියේ විකාශය විය. ඒ තලේබාන් නම් ආගමික අන්තවාදය විසින් ඇඝනිස්‌ථානයේ තිබූ ලෝක උරුමයක්‌ වූ කළුගලින් තැනූ සුවිසල් බාමියන් බුදුපිළිම විනාශ කරන දසුනයි. එදා පුපුරා ගියේ බාමියන් බුදුපිළිම පමණක්‌ නොවේ. සංවේදී බෞද්ධ හදවත්ද ඒ දැකුමෙන් කම්පනය වී පුපුරා ගියේය. 

මෙය රූපවාහිනියේ විකාශය වුණුදාට පසුදා කුරුණෑගල ඈත ගම්බද පෙදෙසක්‌ වූ රම්බොඩගල්ලේ පිහිටි මොනරාගල පිරිවෙනෙහි මාතෘකාව වූයේ එයයි. එදා එක්‌ මොහොතක පිරිවෙනෙහි ශිල්ප ලබමින් සිටි කොලු පැටව් තිදෙනෙකු පරිවේනාධිපති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි හිමියන් ඉදිරියට පැමිණියේ ආවේගයනි. බාමියන් පිළිමවලට අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායම කළ දෙය දැකීමෙන් උපන් ආවේගය, පළිගැනීමකින් මුදාහරින්නට ඔවුන් සිතුවේ මෙසේය. 'ලොකු හාමුදුරුවනේ, අද රෑට අපි වටේ තියෙන මුස්‌ලිම් පල්ලි ඔක්‌කොම ගිණිතියනවා' එය මේ කොලුපැටියන්හට කරන්න පුළුවන් දෙයක්‌ වුවද, මේ සිතිවිල්ල අනර්ථයක්‌ ඇතිකරවන්නක්‌ම බව අමරමෝලි හිමියන්ට වැටහුණි.

'හැතැප්ම දහස්‌ ගණනක්‌ ඈත මිනිස්‌සු ටිකක්‌ කරන දේකට අපේ අසල්වැසියෝ වගේ ඉන්න මේ මුස්‌ලිම් මිනිස්‌සු මොනවා කරන්නද? ඔය හිත මහා ජාතිවාදී කෝලාහලයක්‌ අවුළුවන ගින්නක්‌ වෙන්න පුලුවන්. අපේ බුදුහාමුදුරුවො කිව්වේ 'නහී වේරේන වේරාණි' කියලා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට ඇත්තටම ආදරේ නම් ඒ බුදුවදනට අනුව වැඩ කරන්න' 

සැබෑ බුද්ධ පුත්‍රයන්වහන්සේ නමකගේ මුවින් බුදු වදන ප්‍රතිරාව දෙද්දී මේ දරුවෝ වහා දමනය වූහ. එසේනම් අප මේ විනාශයට ප්‍රතිචාර දැක්‌විය යුතු හොඳම ක්‍රමය කුමක්‌ද යන්න පමණක්‌ ඔව්හු අමරමෝලි හිමියන් වෙතින් විමසූහ. 

'ඒ පිළිමවහන්සේලා විනාශ වුණා. ඒ වෙනුවට අපි ඒ වගේ පිළිම වහන්සේ නමක්‌ මෙහේ හදන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ ' යි උන්වහන්සේ පිළිතුරු දුන්නේ ඒ දැවැන්ත පිළිමවහන්සේ ඉදිකිරීම සිතිවිලි මාත්‍රයක පමණක්‌ රඳවාගෙනය. 

ඒ සිදුවීම එතැනින් අවසන් විය. 

තවත් ටික දොහක්‌ ගෙවී ගියේය. එදා අමරමෝලි හිමියන් විසින් හික්‌මවන ලද දරුවන් තිදෙනා උන්වහසන්සේ ඉදිරියේ පෙනී සිටියේ හිස්‌ අතින් නොවේ. කාසි පිරවූ කැටය බැගින් ඔවුන් තිදෙනා අත විය. තම කාසි කැට අමරමෝලි හිමියන්ට පිළිගැන්වූ මේ පැටවුන් තිදෙනා 'දැන් අපි පිළිමය හදන වැඩ පටන් ගනිමු ' යි පවසා සිටියහ. 

ඒ වනාහී මේ පිළිමවහන්සේ ඉදිකිරීම උදෙසා වූ ප්‍රාග්ධනයයි. 

අමරමෝලි හිමියෝ අයෝමය අධිෂ්ඨානයක්‌ ඇතිකර ගත්හ. ඒ අර විනාශයට පත් බාමියන් බුදුපිළිම මෙන් සුවිශාල පිළිමයක්‌ අසළ ඇති දැවැන්ත කළුගල් රාජයා තුළින් මතුකර ගන්නවාය යන අධිෂ්ඨානයයි. 

ඉරුදිනක්‌ විය. 'ඊශ්වරන් බ්‍රදර්ස්‌ ' සමාගමේ ප්‍රධානී ඊශ්වරන් මහතා සභාපති ලෙසින් සිටින භාවනාව, භගවත් ගීතාව ආදී හින්දු ආගමික නැඹුරුවකින් යුත් චින්මයා ආගමික මෙහෙවර විසින් රම්බොඩ ඉදිකළ හනුමාන් කෝවිල ඉදිරියේ අමරමෝලි හිමියන් වැඩ සිටිනු ඊශ්වරන් මහතා දුටුවේය. සත්ගුණවත් හින්දු භක්‌තිකයෙකු වූ ඊශ්වරන් මහතා එවිට අමරමෝලි හිමියන් වෙත ගොස්‌ තමන්ගෙන් උපකාරයක්‌ අවශ්‍යදැයි විමසා සිටියේය. මේ කෝවිලේ ශෛලමය ඉදිකිරීම් කළේ කවුරුන්ද? තමන් වහන්සේට ඒ නිර්මාණකරුවා ලවා අඩි 50ක්‌ පමණ උසැති පිළිමයක්‌ කරගත හැකි වේද? ඒවාට යන වියදම කොපමණද? ආදී වශයෙන් උන්වහන්සේ විසින් ඊශ්වරන් මහතාගෙන් විමසා සිටියේ සිය අවශ්‍යතාවට අවශ්‍ය මූලික අදහස ගැනීම පිණිසය. 

නමුත් ඊශ්වරන් මහතාගේ පිළිතුර අමරමෝලි හිමියන් අපේක්‍ෂා කළ දෙයින් ගව් ගණනක්‌ ඉදිරියට ගිය එකක්‌ විය. සති දෙකක කාලයක්‌ තුළ, ඉන්දියාවේ චෙන්නායි වෙත වැඩම කරවීම පිණිස අවශ්‍ය වීසා ආදිය සකස්‌ කරගන්නා ලෙසත්, තමන්ට එහිදී මේ ශෛලමය නිර්මාණ සිදුකරන ශිල්පියාව මුණගැස්‌වීමට හැකි බවත්, ඔහු හමුවීමෙන් තමන්වහන්සේගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට හැකිවනු ඇති බවත් පැවසුවේය. 

පද්ම ශ්‍රී එම්. මුත්තයියා ස්‌තපති හෙවත් ශෛලමය නිර්මාණ ශිල්පියා හමුවිය. ඔහුගේ පුස්‌තකාලය අප හිමියන්ව පුදුමයට පත්කළේය. ඒ පුස්‌තකාලය තුළ වූ, ඒ ඒ රටවල, ඒ ඒ කාල සමයන්හි, ඒ ඒ රජවරුන් විසින් කරන ලද බුදු පිළිමවහන්සේලාගේ ඡායාරූප එකින් එක අඛණ්‌ඩව නිරීක්‍ෂණයට ලක්‌විය. අවසානයේ අමරමෝලි හිමියන් තම හිතෙහි රැඳී තිබූ ඒ පිළිමවහන්සේගේ රූපය සොයගන්නා විට වෙලාව පසුදා පෙරවරු 2.00 පමණ වුණි.

2002 වසර ඇරඹුමේ මේ නිර්මාණකරු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේය. 

රම්බොඩගල්ල විහාරයේ වන ඒ දැවැන්ත ගල්කුළ මේ නිර්මාණයට බෙහෙවින් සුදුසු බව නිර්දේශ කරන්නේය. ඉක්‌මනින්ම වැඩ ඇරඹිය හැකි බව පවසන්නේය. නොබෝ දිනකින්, වසර 2000 කට වැඩි කාලයක්‌ පුරා ගලින් කරන ලද නිර්මාණයනට දායක වූ පරම්පරාවකින් පැවත එන මදුරෙහි ගමක සහයකයන් 8 දෙනෙකු සමඟ පැමිණ වැඩ අරඹන්නේය. 

පිළිමවහන්සේ නෙලීමේ වැඩකටයුතු ඇරඹීමත් සමඟින් ඊශ්වරන් මහතාද අතිමහත් කැපවීමක්‌ කරමින් නිරන්තරයෙන්ම පාහේ ඒ සමඟ රැඳිණි. මුල්‍යමය ගැටලු විසඳීමට දායකත්වය දීමෙන් නොනැවතී දකුණු ඉන්දියාවෙන් පැමිණි ශිල්පීන්ගේ වෘත්තීය ගැටලු, සන්නිවේදන ගැටලු ආදී එකී මෙකී නොකී සියලු ගැටලු විසඳමින් මේ කාර්යයේ සම්බන්ධීකාරකවරයා බවට ඉෙරීම ඔහු පත්වන්නේය. තමන්ට රුපියල් බිලියන ගණනක ලාභයක්‌ ලැබෙන ගනුදෙනුවකින් හිමිවන සතුටට වඩා, ලෝකයක්‌ වන්දනා කරන පිළිමවහන්සේ නමක්‌ නෙලීම පිණිස දෙනු ලබන මෙම දායකත්වයෙන් ලබන සතුට ප්‍රබල බව ඔහු පවසන්නේය. 

මෙලෙස වැඩ ඇරඹී වැඩි කලක්‌ යන්නට මත්තෙන් තවත් දෛවෝපගත සිදුවීමක්‌ වන්නේය. ඒ කුරුණැගල රිදීවිහාරය ප්‍රදේශයට පැමිණි ඩී. එස්‌. අයි සැම්සන් ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‍ෂ නන්දදාස රාජපක්‍ෂ මහතා ඉතාම අහඹු ලෙස මේ දැවැන්ත නිර්මාණ භූමියට පැමිණීමයි. මේ අසහාය නිර්මාණය දරා සිටින පාදයන් හතරෙන් තුනක්‌ (අමරමෝලි හිමියන්, ඊශ්වරන් මහතා සහ මුත්තයියා මහතා) ඒ වනවිටද බිහිව තිබුණත්, එකී සිව්වැනි පාදය බවට පත්වෙමින් මේ කටයුත්ත ස්‌ථාවර කිරීමට අවශ්‍ය ඉතිරි බර කරටගන්නට නන්දදාස මහතාගේ පුණ්‍යමය දෛවය විසින් ඔහුව දැවැන්ත පෙළඹවීමක්‌ කරන ලදී. 

එතැන් පටන් රුපියල් මිලියන 110 ක්‌ පිරිවැයක්‌ සපයාගත යුතුවූ මේ නිර්මාණ කාර්යයේ මුදල් සැපයුමට කරගසන්නේ නන්දදාස රාජපක්‍ෂ මහතාය. 

2002 වසරේදී එවකට රාජ්‍ය පරිපාලන අමත්‍යතුමා වූ ගරු කරු ජයසූරිය මැතිතුමාගේ සුහද ආරාධනයෙන් හිටපු ඉන්දීය මහා කොමසාරිස්‌තුමිය රුපියල් මිලියන 2.5 ක මුදලක්‌ පරිත්‍යාග කරන ලදී. මෙකී නිර්මාණය ඇරඹුමේදී, ඉල්ලා සිටි සැණින් අවශ්‍ය යකඩ බට සපයා දෙනු ලැබුවේ කතෝලික බැතිමතෙකු වූ හිටපු මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමති ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ මහතාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් රුපියල් මිලියන 7.5 ක්‌ සපයනු ලැබීය. හිටපු හමුදාපතිතුමන් සරත් ෆොන්සේකා මහතා රුපියල් මිලියන 2ක්‌ එකතුකර දුන්නේය. ලංකා බැංකුවේ හිටපු සභාපතිතුමන් ගාමිණි වික්‍රමසිංහ මහතා තවත් රුපියල් මිලියන 5ක්‌ එකතුකර දුන්නේය. ඉන්දියානු රජයද රුපියල් මිලියන 2.5 ක්‌ ලබාදුන්නේය. රටෙහි නන්දෙස වෙසෙන බෞද්ධ, කතෝලික මෙන්ම මුස්‌ලිම් මිනිසුන්ද, සංචාරකයන් ලෙසින් මෙරටට පැමිණි නොයෙකුත් ජාතීන්, ආගම්වල මිනිසුන්ද මේ සඳහා නන් අයුරින් දායක වූ බව අමරමෝලි හිමියෝ පවසති. 

වසර 12ක්‌ ගෙවුණු මේ අතිදැවැන්ත කාර්යය පසුගියදා මස්‌තකප්‍රාප්ත වූයේ රජෙකුගේ හෝ රජයක සෘජු අනුග්‍රහයක්‌ නොමැතිව, බුද්ධපුත්‍රයකුගේ මූලිකත්වයෙන් බිහිවූ ලොව පළමු දැවැන්ත පිළිම වහන්සේ ලෙසිනි. පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජුන් විසින් ගල්විහාරයේ ඉදිකළ සමාධි පිළිමයෙන් පසු එයටද වඩා දැවැන්ත පිළිම වහන්සේ නමක්‌ ඉදිවීම ඉකුත්දා අවසන් විය. 

රම්බඩගල්ල සමාධි පිළිමවහන්සේ සමස්‌ත බෞද්ධයාට පමණක්‌ නොව ලෝකයාට උරුම කරදීම උදෙසා කිසිදු මුදලක්‌ අය නොකර කැපවූ මුත්තයියා මහතාට ඒ වෙනුවෙන් පිරිනැමිය යුත්තේ කුමන ත්‍යගයක්‌ දැයි නන්දදාස රාජපක්‍ෂ මහතා කල්පනා කරමින් සිටි විටෙක ඊශ්වරන් මහතාගේ නිවසේ රාත්‍රී භෝජනයකදී මොවුන් මුණගැසෙන්නේය. රත්නපුරයේ මුස්‌ලිම් ව්‍යාපාරික මහතෙකු විසින් තමන්ට තෑගි කළ නවරත්න මැණික්‌ යෙදූ මුද්දක්‌ 2008 මැයි 15 වැනිදා යෙදුණු එම රාත්‍රියේදී නන්දදාස මහතා විසින් මුත්තයියා නම් වර්තමානයේ භරණ ගණිතඥයාට (අවුකන පිළිමය ඉදිකර ශිල්පියා) තෑගි කළේය. මුත්තයියා මහතාගේ දෑස්‌ද නවරත්න මුද්දේ මැණික්‌ මෙන් දිළිසුනේ සංසාරගත සහෝදර බැම්මක සංවේදී හැඟීමකින් දෑස්‌ තෙත්වූ බැවිනි. 

ඉකුත්දා පැවැති පිළිමය නිරාවරණය කිරීමේ උත්සවයේදී මුත්තයියා මහතා විසින් නන්නදාස රාජපක්‍ෂ මහතාට මේ නවරත්න මුද්ද පෙන්වා සිටියේය. ඒ මුද්දේ පසුපස කොටස බෙහෙවින් සීරී තිබුණි. ඒ ඇයිදැයි ඔබට සිතාගත හැකිද.....? 

මුත්තයියා මහතා, ලොව විශාලම සමාධි පිළිමය හෙවත් මේ රම්බඩගල්ල පිළිමයේ නේත්‍ර ප්‍රතිස්‌ථාපනය කර තිබුණේ එදා නන්දදාස රාජපක්‍ෂයන්ට මුස්‌ලිම් ව්‍යාපාරික මහතකු විසින් තෑගි කළ, මැණික්‌ ගල් යෙදූ, පසුව තමන් තෑගි ලද ඒ මුද්දෙනි. 

බෞද්ධ, හින්දු, මුස්‌ලිම් තිදෙනෙකුගේ පරිත්‍යාගයන් මතින් සමාධි බුදු පිළිමවහන්සේ නෙත් ලැබූහ. එදා මේ කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණි ඉන්දීය නිර්මාණකරුවන්ට දැන් සිංහලද කථා කළ හැක. ජාතිය කුමක්‌ වුවද, භාෂාව කුමක්‌ වුවද, ආගම කුමක්‌ වුවද සහෝදරත්වයේ හැඟීමෙන් මේ සියල්ල එකමුතුවූ දා ලෝක පූජිත නිර්මාණ බිහිවන්නේය. රජ සමයෙන් පසු, උතුම් බුද්ධ ශාසනය උදෙසා රාජකීය නිර්මාණයක්‌ උදෙසා වචනයකින් හෝ සවිය වූ ඔබ සියලුදෙනාට දිව්‍යලෝකවල සශ්‍රීක දිවමාලිග දැනටමත් පහළවී ඇත්තේ විය යුතුය.
එල්. ඩබ්ලියු. ජයසිංහ

ථේරවාදි බෞද්ධයනි, ඔබේ අවධානය පිණිසයි!


ගෞතම බුදුරදුන් විසින් පවත්වන ලදැයි සැලකෙන දේශනා ඇතුළත් ත්‍රිපිටකය මූලික කරගත් අටුවා හා ටීකාදි වශයෙන් ගැනෙන මූලාශ්‍රය විශාල ප්‍රමාණයක් ථේරවාදි සම්ප්‍රදායට අයත් වේ. ථේරවාදීන් සතු වන මේ මූලාශ්‍රය ප්‍රමාණය විශාල බැවින්ම එහිලා කළ යුතු කටයුතු ප්‍රමාණයද අතිවිශාලය. එහෙත් මෙම ක්‍රියාවලිය පිළිබඳව නිසි අවබෝධයක් නැති බැවින් දෝ පාලි හා බෞද්ධ අධ්‍යයනයට සම්බන්ධ පර්යේෂණ ක්‍රියාවලිය කලක පටන් එකම තැනක රැඳී පවතිනු පෙනේ. මෙය ථේරවාද බෞද්ධ අධ්‍යයනය හා සම්බන්ධ විශාල කඩාවැටීමක් සේම අභියෝගාත්මක තත්ත්වයක්ද වේ. එබැවින් මෙම ක්ෂේත්‍රයෙහි සීමාවන් හඳුනාගැනීම කාලෝචිතය. මේ ලිපිය ඒ සම්බන්ධයෙනි. මෙහි ලේඛකයා පාලි භාෂාව පිළිබඳ විශේෂවේදි විද්‍යාර්ථියෙකි.

ථේරවාද බෞද්ධ අධ්‍යයන යොමු විය යුතු විවිධ අංශ පිළිබඳව විද්වත්හු නොයෙක් යෝජනා ඉදිරිපත් කරති. එම යෝජනා නැවත ඉදිරිපත් කිරීම මෙහිලා අපගේ අරමුණ නො වේ. නොයෙක් දිශාවන් කරා විහිද ගිය මෙම ක්ෂේත්‍රයෙහි අනිවාර්ය අවධානය යොමු කළ යුතු සීමාව දැක්වීම පමණක් මෙහිදී සිදු කැරේ. ඒ අනුව මෙහිදී අවධානය යොමු වන අංශ මෙසේ කෙටියෙන් දැක්විය හැකිය:
01. පැරණි ග්‍රන්ථ පිටපත් හඳුනාගැනීම හා සංරක්ෂණය. 02. පැරණි ග්‍රන්ථ සංස්කරණය හා කළ සංස්කරණ අලුත් කිරීම. 03. සංස්කරණය වූ පාඨ පිළිබඳව පර්යේෂණ මගින් නව යෝජනා ඉදිරිපත් කිරීම. 04. පැරණි ග්‍රන්ථ පරිවර්තනය හා කළ පරිවර්තන අලුත් කිරීම. 05. මූලාශ්‍රයන්ගේ අන්තර්ගතය හඳුනාගැනීම මගින් බෞද්ධ අධ්‍යයනය පුළුල් කිරීම. 06. වෙනත් විෂයයන් සමඟ සැසඳීම. 07. මානසික සංවර්ධනය
මෙහිදී වඩා වැදගත් වන්නේ පාලි මූලාශ්‍රයන් සම්බන්ධයෙන් භාෂා ශාස්ත්‍රීය ක්‍රමවේදයක පිහිටා, නූතන තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් පර්යේෂණ කිරීමට හැකි පාලි භාෂා දැනුමැත්තෝය. මීළඟට මෙහි ඉහත දක්වන ලද එක එකක් අංශ පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කරමු.
01. පැරණි ග්‍රන්ථ පිටපත් හඳුනාගැනීම හා සංරක්ෂණය
ථේරවාදී පාඨග්‍රන්ථයන්ගේ අත්පිටපත් බොහෝ දුරට පුස්කොළ පොත්ය. එබැවින් පාඨ ග්‍රන්ථ සංස්කරණයකදී පළමුවෙන්ම කළ යුත්තේ අත්පිටපත් තෝරාගැනීමය. සාර්ථක ග්‍රන්ථ සංස්කරණයක් එක් පිටපතක් ආශ්‍රයෙන් පමණක් සිදු කළ නොහැකි බැවින් එම පාඨ ග්‍රන්ථයට අදාළ තවත් පිටපත් ඇත්දැයි පර්යේෂකයා පළමුව සොයා බැලිය යුතුය. මෙහිදී තමා සංස්කරණය කිරීමට අපේක්ෂා කරන ග්‍රන්ථය මීට පෙර යම් සංස්කරණයකට ලක්ව ඇත් නම් එය පළමුවෙන්ම පරීක්ෂා කොට, ග්‍රන්ථය පිළිබඳව යම් දැනුමක් ලබාගත යුතුය.
මේ ආකාරයට ග්‍රන්ථ සංස්කරණයක නියැලීමට උත්සාහ කරන පර්යේෂකයකු වෙත පැවතිය යුතු ගුණාංග දෙකක් හඳුනාගත හැකිය. ඒවා නම් අනලස්ව තමන්ට ලැබෙන සියලු පුස්කොළ පිටපත් පර්යේෂණය කළ හැකි වීම හා හමු වන සෑම පත් ඉරුවක් පාසාම මේ තමන් සොයන පාඨ ග්‍රන්ථයේ කොටසක්ද නැද්ද යන වග නිශ්චය කරගැනීමේ අනුමාන ඥානයයි. මෙම ගුණාංග දෙකින් සමන්විත වූ පර්යේෂකයාට තමා සංස්කරණය කිරීමට බලාපොරොත්තු වන පාඨ ග්‍රන්ථය සෑහෙන පමණ අංගසම්පූර්ණ කරගැනීමේ හැකියාව උදා වේ.
තවද පර්යේෂකයා සතුව ඇති පුස්කොළ පිටපත් සංරක්ෂණය කරගැනීමට, ඒවා නඩත්තු කරන ආකාරය පිළිබඳවද මනා වැටහීමක් තිබීම වැදගත් වේ. මෙහිදී විශේෂයෙන්ම පුස්කොළ පොත බැඳගැනීම පිළිබඳ හා කළු මැදීම හෙවත් අකුරු මතු කරගැනීම පිළිබඳ දැනුම වැදගත් වේ. තවද: පුස්කොළ පොත් නිෂ්පාදනය හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලියම දැනගෙන සිටීම මෙහිදී මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමකට හේතු වේ.
මේ සියලු කරුණුවලට අමතරව රට පුරා විසිර ඇති පුස්කොළ පොත් පිටපත් සොයාගැනීම පිළිබඳ දැනුමක්ද අදාළ පර්යේෂකයා වෙත පැවතිය යුතුය. මෙහිදී කේ.ඩී. සෝමදාස මහතා විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් නාමාවලිය පොත් කාණ්ඩ තුන ශ්‍රී ලංකාව පුරා නොයෙක් විහාරස්ථානවල හා පුස්තකාලයවල තැන්පත් කර ඇති පුස්කොළ පොත් සොයාගැනීමට මහෝපකාරී වේ. මෙහි පළමු කාණ්ඩ දෙක මගින් එම ග්‍රන්ථය සකසන කාලය වන විට ලංකාව පුරා පැවති පුස්කොළ පොත් පිළිබඳවද, තෙවන කාණ්ඩයෙන් ලංකාවෙන් ගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුස්කොළ පොත් පිළිබඳවද තොරතුරු දැක්වේ.
මීට අමතර ව හියු නෙවිල් විසින් සකසන ලද පුස්කොළ පොත් නාමාවලිය හියු නෙවිල් කලෙක්ෂන් පොත් කාණ්ඩ මගින් ලබාගත හැකි ය. එම එකතුවෙහි ඇති විශේෂත්වය වන්නේ පුස්කොළ පොත් නාමාවලියක් පමණක් නොදක්වා, ඒ එක එකක් පොතක අන්තර්ගතයද ලුහුඬින් දක්වා තිබීමය. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ පුස්කොළ පොත් නාමාවලියද මීට සමාන ලැයිස්තුගත කිරීමකි. තවද: කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යාපීඨය යටතේ පුස්කොළ පොත් අධ්‍යයන ඒකකයක් පවත්වාගෙන යනු ලැබේ.
මේ ආකාරයට ථේරවාද බෞද්ධ ක්ෂේත්‍රයට අදාළ පැරණි පිටපත් හඳුනාගෙන, ඒවා වෙන් කරගැනීම, එකතු කිරීම හා සංරක්ෂණය කොට තමාගේත් අනුන්ගේත් අධ්‍යයන කටයුතු සඳහා මං පෙත් සැලසීම වර්තමානයෙහි සිදු විය යුතුම කටයුත්තක් බව පැහැදිලි ය.
02. පැරණි ග්‍රන්ථ සංස්කරණය හා කළ සංස්කරණ අලුත් කිරීම
ඉහත සඳහන් පළමු පියවර ඔස්සේ සංස්කරණයට තෝරාගත් පාඨ ග්‍රන්ථයේ තවත් පිටපත් සොයා බලා ඒවා විධිමත් අයුරින් වර්ගීකරණය කරගත යුතුය. පත්ඉරු අවුල්ව ඇති නම් ඒවා පිළිවෙළට සකසාගත යුතුය. අවුල්ව ඇති පෙළක් පිළිවෙළකට සකස් කරගන්නා ක්‍රම දෙකකි. ඉන් පළමු ක්‍රමය වන්නේ ලැබී ඇති පිටපතේ අංකිත ක්‍රමය හඳුනාගෙන, ඒ අංකිත පිළිවෙළට පත්ඉරු සකසාගෙන පෙළ පිළිවෙළ මතු කරගැනීමයි. එහෙත් ඇතැම් පිටපත්වල යම් ක්‍රමයකට සෑම පත්ඉරුවක්ම පිළිවෙළකට අංකිත නමුත් එහි අන්තර්ගත පෙළ බෙහෙවින් අවුල්ය. මෙවන් අවස්ථාවකදී දෙවැනි ක්‍රමයක් භාවිත කළ යුතුය. එනම්: දැනට සිදුව ඇති සංස්කරණයක් හෝ එහිම තවත් පිටපතක් බලා ඒ අනුව අවුල්ව ඇති පෙළ සකසාගැනීමයි. එසේ කළ නොහැකි නම් පාඨ ග්‍රන්ථය අටුවාවක් හෝ ටීකාවක් නම් මුල් පෙළ බලා එයට ගැළපෙන සේ අටුවාව හෝ ටීකාව සකසාගත හැකිය. එසේත් කළ නොහැකි අවස්ථාවකදී ඉදිරිපත් වන කරුණුවල ගැඹුර අනුව සරල තැන පටන් ගැඹුරු තැන දක්වා පිළිවෙළ සකසාගැනීම කළ හැකි ය. මන්ද යත්: ථේරවාද පාඨ ග්‍රන්ථ බොහෝ විට සරල තැන පටන් කෙමෙන් ගැඹුරට විහිදීම ලක්ෂණ කොට ඇති බැවිනි. ඒ අනුව මේ සියල්ලෙන් පොදුවේ මතු වන පෙළක් නිර්මාණය කරගැනීම පෙළ සංස්කරණ ක්‍රියාවලියෙහි පළමු පියවර යි.
අනතුරුව දෝෂ ඉවත් කළ යුතුය. ඇතැම් පිටපත් බෙහෙවින් අවුල්ව තිබිය හැකි බැවින් පිටපත් සියල්ල එකට තබා, බහුලව යෙදී ඇති පාඨ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මෙයින් බලාපොරොත්තු වනුයේ පිටපත් කරන්නන් අතින් සිදු වූ දෝෂ හා මුල් කෘතියේ ස්වරූපය හඳුනාගැනීමය.
මෙහිදී අප හඳුනාගත් ආකාරයට සංස්කරණයට ලක් වන කොටසෙහි සියලු පාඨ කොටස් තුනකට අයත් වේ. ඒවා මෙසේය:
I. මූලපාඨ, II. අපපාඨ, III. ආදේශ පාඨ
I. මූලපාඨ: පිටපත් වැඩි ගණනක යෙදී ඇති, ටීකාවක් නම් මූල ග්‍රන්ථය සමඟ මනා ගැළපුමක් ඇති හා ව්‍යාකරණාදි වශයෙන් දෝෂයක්ද නැති පාඨ මූලපාඨ වශයෙන් සැලකේ. එවැනි පාඨ අධෝලිපි පාඨ වශයෙන් නොතබා ශුද්ධ පාඨ වශයෙන්ම පෙළට ඇතුළත් කිරීම සිදු වේ.
II. අපපාඨ: මෙහිදී මූලපාඨ වශයෙන් සැලකූ ඇතැම් පාඨ හා තවත් පාඨ සමහරක් පිටපතක-දෙකක හෝ පිටපත් කිහිපයක වෙනස්ව, දූෂිතව යෙදී ඇත. මෙවැනි පාඨ අපපාඨ වශයෙන් සැලකේ. මෙවන් අපපාඨ පාදක සටහන් වශයෙන් සංස්කරණ කෘතියේ ඒ ඒ පිටුවේ යටින් අදාළ පිටපතේ සංකේතයද සමඟ දැක්වේ.
III. ආදේශ පාඨ: මූලපාඨ හා අපපාඨ වශයෙන් සැලකිය නොහැකි පාඨ ආදේශ පාඨ නම් වේ. සීමිත පිටපත් ගණනක යෙදී ඇති, අන්තර්ගතය හා නොගැටෙන, භාෂාත්මක වශයෙන්ද ගැටලු ඇති නොකරන පාඨ මෙම ගණයට අයත් වේ. මෙවැනි පාඨ ඇති විය හැක්කේ උගත් පිටපත් කරන්නන් අතිනි. මේවා තමන් අතට පත් වූ පිටපතෙහි යම් වැරැදියැයි හැඟෙන තැනකදී හෝ සම්ප්‍රදායානුකූල වීමෙන් හෝ ඌනපූරණයක් කළ යුතුමයැයි හැඟෙන අවස්ථාවකදී එක් කළ පාඨ විය යුතුය.
පර්යේෂකයා සතුව ඇති පුස්කොළ පොත් පිළිබඳ පරම්පරා වෘක්ෂයක් සකසාගත හැකි නම් මේ පාඨාන්තර දෝෂ ඇති වීම පිළිබඳව යම් අවබෝධයක් ලැබිය හැකිය. මෙහිදී පළමුව පහත රට ප්‍රදේශයෙන් සොයාගත් පොත්, උඩරට ප්‍රදේශයෙන් සොයාගත් පොත්, බුරුම සම්ප්‍රදායට අයත් පොත් වශයෙන් වර්ගීකරණය කරගත යුතුය. අනතුරුව උඩරටට අයත් පැරණි පොත් සමහරක් සියම් ආභාසය ලැබූ ඒවා දැයි පරීක්ෂා කළ හැකිය. බුරුම සම්ප්‍රදායට අයත්යැයි පෙනෙන පොත්වලට බුරුම පාලි භාෂා සම්ප්‍රදාය කොතෙක් දුරට බලපා ඇත්ද? යන්නත් විමසිය හැකිය. තවද: එම පොත් පිටපත් කරන ලදැයි සඳහන් වන කාලවකවානුව අනුවද පිටපත්කරුවාගේ විස්තර අනුවද කාලය සොයාගත හැකිය. මෙසේ එක් එක් පිටපතක කාලය සොයාපැරණිම කෘතියට ආසන්න බව සලකා බැලිය හැකිය. සාම්ප්‍රදායික වෙනස්කම් සලකා බැලිය හැකිය.
සංස්කරණය සඳහා යොදාගත් පිටපත්වල සඳහන් නොවන, එහෙත් මූලපාඨ ලෙස පැවැතියේයැයි සිතිය හැකි පාඨ වෙත් නම් ඒවා සංස්කරණය කළ පෙළෙහිම කොටු වරහන් තුළ යෙදිය හැකි ය. එසේ පාඨ යෙදූ අවස්ථාවල ඒවාට හේතුද අධෝලිපි සටහන් මගින් දැක්වීම වඩාත් ශාස්ත්‍රීය වේ. එය පාඨකයාගේ හා පරිවර්තකයාගේ නුමුළා බවට හා පහසුවට හේතු වේ. සංස්කරණය සඳහා තෝරාගත් සියලු පාඨ පෙළට ඇතුළත් කැරෙන අතර, අනෙක් සියලු පාඨ පාදක සටහන් වශයෙන් දක්වනුයේ මතු පර්යේෂකයන්ගේ ප්‍රයෝජනය සඳහා සහ තෝරාගත් පාඨයන්ගේ නිවැරදි බව පිළිබඳව සංසන්දනාත්මක අවබෝධයක් ලබනු පිණිසය. තවද එසේ දැක්වීමේදී පිටපත්වලට දී ඇති සංකේතාක්ෂරයන්ගේ අනුපිළිවෙළටම දැක්වීම උචිතය. අක්ෂර වින්‍යාසයේ සුළු සුළු වෙනස්කම් සහිත පාඨ වුව ප්‍රයෝජන වශයෙන් සලකා සංස්කරණයෙහිදී දැක්වීම උසස් ශාස්ත්‍රීය සංස්කරණවල ස්වභාවයයි. පාඨාන්තර විශාල ප්‍රමාණයක් ඇති අවස්ථාවකදී ඒවා උපග්‍රන්ථයකට ඇතුළත් කිරීම වඩා සුදුසුය.
පාඨ ග්‍රන්ථයේ අතරින් පතරට එකතු කළ යුතුයැයි හැඟෙන ඇතැම් පත්ඉරු කොටස්වල එන ගාථා හෝ වාක්‍යාදිය පෙළේ අදාළ තැන්වලට සමීප කරගැනීම මීළඟට කළ යුතු කාර්යයයි. පර්යේෂකයා පෙළට අදාළයැයි අනුමාන කරන කොටස් දැනට සකසාගෙන ඇති පෙළේ එකතු විය යුතු තැන් හා කිසි විරෝධයක් ඇත්දැයි නිශ්චය කරගත යුතු අතර, එය පෙළට ඇතුළත් කිරීමට තවමත් ඉක්මන් නොවිය යුතුය. ඇතැම් විට එසේ ඉක්මන් වීම නියම මුල් පෙළට වඩා විකෘති පෙළක් සංස්කරණය වීමට හේතු විය හැකි බැවිනි.
සංස්කරණයකදී පාලි පෙළ පිළිබඳ පිටපත් පමණක් ඇසුරු කිරීම අසාර්ථකය. අදාළ පාඨ ග්‍රන්ථයට සම්බන්ධ වෙනත් සංස්කරණ වේ නම් ඒවාද සංස්කරණ කාර්යයෙහිලා පාඨාන්තර සම්බන්ධ ගැටලු විසඳාගැනීමට යොදාගත හැකිය. උදාහරණයක් වශයෙන් ධම්මපදය නම් පාඨ ග්‍රන්ථය පිළිබඳව විමසා බැලේ. භරතසිංහ උපාධ්‍යායට අනුව ධම්මපදය පිළිබඳව ප්‍රාකෘත ධම්මපදය, මහාවස්තුවෙන් උපුටාගත් සහස්‍ර වර්ගය, පිරිසිදු සංස්කෘතයෙන් රචනා කරන ලද ධම්මපදය හා ප-ඛ්‍යු-කිඩ් නම් චීන අනුවාදය වශයෙන් සංස්කරණ හතරකි. සංස්කාරකවරයාට මේ සියලු ධම්මපද සංස්කරණ පිළිබඳව විමසා බැලිය හැකිය. විමසා බැලෙන මෙම පිටපත් අතර දුර්ලභ පිටපත්ද තිබිය හැකිය. උදාහරණ වශයෙන් සාමඤ්ඤඵල සූත්‍රය සම්බන්ධයෙන් සොයාගත් සංස්කෘත සංස්කරණ ලිපි කැබැලි දැක්විය හැකිය. සංස්කාරකවරයාට මේ සියල්ල පිළිබඳව දැනුමක් තිබිය යුතුය.
තවද: සංස්කරණයට ලක් වන ග්‍රන්ථයට අටුවාවක්, ටීකාවක් හෝ මූල ග්‍රන්ථයක් වේ නම් සංස්කරණයේදී ඒවාද අනිවාර්යෙන්ම භාවිත කළ යුතුය. තවද අදාළ පාඨ ග්‍රන්ථයේ දැක්වෙන කරුණුවලට සමාන කරුණු ඇති ප්‍රකරණ ග්‍රන්ථ වේ නම් ඒවාද, එම ග්‍රන්ථය සම්පාදිත කාලසීමාවේදී ඊට සමානව වෙනත් භාෂාවන්ගෙන් සම්පාදිත වෙනත් කෘතිද පරිහරණය කළ හැකිය. මීට අමතර ව ඡන්දස, ව්‍යාකරණය හා ශබ්දකෝෂ යනාදියද සංස්කරණ කාර්යයෙහිලා උපයෝගී කරගත හැකිය. කළ සංස්කරණ වුව ඇතැම් විට නැවත සංස්කරණය කළ හැකිය. එහිදී සංස්කාරකවරයා සතුව තවත් පිටපත් ප්‍රමාණයක් තිබිය යුතු අතර, කරුණු සහිතව මුල් සංස්කරණයට වඩා පෙළෙහි සංශෝධනය විය යුතු තැන් යම් ප්‍රමාණයක් තිබිය යුතු ය.
03. සංස්කරණය වූ පාඨ පිළිබඳව පර්යේෂණ මගින් නව යෝජනා ඉදිරිපත් කිරීම
සංස්කරණය වූ පෙළක වුව තවදුරටත් වෙනස් විය යුතුයැයි යෝජනා කැරෙන පාඨ තිබිය හැකිය. ඇතැම් විට එය සංස්කෘත හා චීන වැනි පිටපත් ඇසුරෙන්ද, සන්දර්භයට ගැළපීම් වශයෙන්ද යනුවෙන් නොයෙක් කරුණු පදනම් කරගත් යෝජනා විය හැකිය.
උදාහරණ වශයෙන් විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ යෝජනා කිහිපය අවධානයට යොමු කරමු: බුරුමයේ පැවැති ඡට්ඨ සංගායනාවට සහභාගී වූ බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය නාහිමියෝ සද්දනීති ව්‍යාකරණය අනුව ශුද්ධයැයි තෝරාගත් ‘නිගණ්ඨො නාටපුත්තො’ යන්න වැරදි බවත් ඒ වෙනුවට ‘නිගණ්ඨො නාතපුත්තො’ යනුවෙන් යෙදිය යුතු බවත් පෙන්වා දුන්හ. එයට හේතු පෙන්වා දෙන එහිමියෝ නිගණ්ඨ නාතපුත්ත තෙමේ නටන්නකුගේ පුතකු නොවන බවත්, ඤාත නම් ලිච්ඡවීන්ගේ ක්ෂත්‍රිය ගෝත්‍රයට අයත් රාජ කුමාරයකු බවත් පෙන්වා දුන්හ.
තවද: වැලිවිටියේ සෝරත හිමියෝ උන් වහන්සේගේ ‘පාලි පොත්හි වැරදි තිබෙන තැන් කීපයක්’ නම් ලිපියේදී උපාලි සූත්‍රයේ එන ‘පදකස්ස’ යන පදයට ‘පදීපස්ස’ යනුවෙන්ද, ‘යක්ඛස්ස’ යන්නට ‘අක්ඛස්ස’ යනුවෙන්ද යෝජනා කරති. තවද උන් වහන්සේ ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍යව‘ යන තැන හා ‘උරුවෙලා’ යන්නට ගත යුතු නියම අර්ථය සම්බන්ධයෙන්ද නව යෝජනා ඉදිරිපත් කරති.
04. පැරණි ග්‍රන්ථ පරිවර්තනය හා කළ පරිවර්තන අලුත් කිරීම
මේ වන විට පාලි බෞද්ධ පාඨ ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් සිංහල, ඉංග්‍රීසි, බුරුම, තායි හා ප්‍රංස ආදි භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති අතර, තවත් ග්‍රන්ථ ගණනාවක් එසේ පරිවර්තනය වී නැත. පාලි අටුවා හා ටීකා පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ පරිවර්තන සිදු වී නැත. මෙම තත්ත්වය පාලි නොදන්නා පර්යේෂකයන්ට මහත් ගැටලුවකි. මහාවංසය ඉංග්‍රීසි භාෂාවෙන් ගයිගර් පරිවර්තනය ඇසුරෙන් කියැවිය හැකි මුත්, පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පෙන්වා දෙන ආකාරයට එයින් පාඨකයාට ගැටලු රාශියකට මුහුණ දී වැරදි අර්ථ විවරණ කියැවීමට සිදු වේ.
තත්ත්වය මෙබඳු බැවින් පාලි පරිවර්තනයක් මැනවින් කිරීමට තරම් පාලි භාෂා පරිචයක් ඇති භාෂා ශාස්ත්‍රඥයෝ ථේරවාද බෞද්ධ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යය. මෙහිදී අටුවා, ටීකා, ප්‍රකරණ, සන්න, ගැටපද, සමාන්තර සංස්කරණ, පාඨ ග්‍රන්ථය නිෂ්පාදිත කාලයට සමකාලීන සමාන අන්තර්ගතයන් ඇති වෙනත් ග්‍රන්ථ, ව්‍යාකරණය, ඡන්දස හා ශබ්දකෝෂ යන මේ සියල්ලද පාලි පරිවර්තනයක නියැලෙන සාර්ථක පරිවර්තකයකු විසින් භාවිත කැරේ. පරිවර්තනයකදී දුරවබෝධ පාඨ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම වැදගත් වේ.
05. මූලාශ්‍රයන්ගේ අන්තර්ගතය හඳුනාගැනීම මගින් බෞද්ධ අධ්‍යයනය පුළුල් කිරීම
යම් පාඨ ග්‍රන්ථයක් සංස්කරණය වී පරිවර්තනය වීමෙන් පසු කළ යුතු කාර්යය වන්නේ එහි අන්තර්ගතය හඳුනාගැනීමය. යම් පාඨ ග්‍රන්ථයක් ලෝකයට හඳුන්වාදීමේදී වැදගත්ම කරුණ වන්නේ එම පාඨ ග්‍රන්ථයෙන් ඉදිරිපත් වන අන්තර්ගතයයි. එම අන්තර්ගතයට අනුව එම පාඨ ග්‍රන්ථය ව්‍යාකරණ කෘතියක්ද?, එසේ නම් කවර සම්ප්‍රදායකට අයත්ද?, මෙහි ඇති විශේෂතා මොනවාද?, ධර්ම ග්‍රන්ථයක්ද?, විනය ග්‍රන්ථයක්ද?, මෙහි එන විවරණ මොනවාද? යන අංශ කෙරෙහි සැලකිලිමත් විය හැකිය.
06. වෙනත් විෂයයන් සමඟ සැසඳීම
ග්‍රන්ථයක අන්තර්ගතය හඳුනාගැනීමෙන් පසු එය විවිධ විෂයයන් සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව අදාළ පාඨ ග්‍රන්ථයෙන් බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, නීතිය, කළමනාකරණය හා වෛද්‍ය විද්‍යාව යනාදි නොයෙක් විෂයයන්ට අදාළ කරුණු මතු කරගත හැකි ය. පුරාවිද්‍යාව වැනි විෂයයන්ගෙන් සොයාගන්නා කරුණු සනාථ කරගැනීමටත්, සොයා නොගත් කරුණු පිළිබඳව දැනුමක් ලබාගැනීමටත් මෙවන් අධ්‍යයන හේතු වේ. මෙමගින් අනෙකුත් විෂයයන් සංවර්ධනය කරගැනීමට ලැබෙනුයේ නොමඳ අනුග්‍රහයකි.
07. මානසික සංවර්ධනය
විශේෂයෙන්ම ථේරවාදයට සම්බන්ධව ආධ්‍යාත්මික දියුණුවෙන් සැපයිය හැකි නායකත්වයක් නැති වීම මෙම අධ්‍යයන ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති කොට ඇත. මේ අතර දලයි ලාමා හා හ්ෂිං යූ වැනි ආධ්‍යාත්මික නායකයන්ගෙන් සැපයෙන පෞරුෂය නිසා මේ වන විට ලොව පුරා චීන හා තිබ්බත අධ්‍යයන සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීම සිදු වේ. බුදුදහම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන බටහිර ජාතිකයෝ එය යථාර්ථ වශයෙන් අවබෝධ කරගැනීමටද සාමාන්‍ය ජීවිතයේදී ඇති වන විඩාව දුරු කරගැනීමටද මහා පරිමාණයෙන් භාවනාවට යොමු වෙමින් සිටිති. එහෙත් ලෝකයේ ඇති වූ මෙම අවශ්‍යතාවන්ට සරිලන සේ ථේරවාද බෞද්ධයන්ගේ ක්‍රියාත්මක වීමක් දැකිය නොහැකිය.
අප විසින් මෙතෙක් කරුණු දක්වන ලද්දේ ලාංකික ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය සම්බන්ධයෙන් අනිවාර්ය අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් පිළිබඳවය. මේ වන විට අප සම්ප්‍රදාය ගිලෙන්නට යන නැවක ස්වරූපයකින් පවතී. ඇතැම් විට ජනකාන්ත ස්වරූපයකින් ඉදිරිපත් වන බෞද්ධ රැළිම මෙහි විනාශයට හේතු වී තිබේ. එබැවින් කළ යුත්ත වටහාගෙන එහි නොපමා විය යුතුය. අතීතය අමතක නොකොට, අතීතයෙහි හර පද්ධතිය රැකගැනීමට වැර දරන්නේ නම් මේ ගැටලු අවම වනු ඇත.

සම්බුදු පහස ලද මහියංගණ පුරාණය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ 
මහාචාර්ය 

හඟුරන්කෙත ධීරානන්ද හිමි
බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුරදුන්ගෙන් තිසරණගත වූ පළමු ශ්‍රී ලාංකේය පිරිස ද බිහිවනුයේ මහියංගණ භූමිය තුළදීම වීම ශාසනික වශයෙන් වැදගත් කරුණකි
වසර සිය ගණනක් මුළුල්ලේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ, ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය කියවෙන හා ලියන සැමගේ පළමු අවධානය දිනාගත් මහියංගණ පුදබිමේ ඓතිහාසිකත්වය සාහිත්‍යයක මූලාශ්‍රයනට අනුව ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට සීමා වූවද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බවට සාක්ෂි ශේෂව තිබේ. මහවැලි ගං නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිවන අතර එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසින්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වා මහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. උත්තරවිහාරට්ඨ කතාවෙන් උපුටාගත් කොටසක් මුල් කොට කරන විවරණයකි ද වංසත්ථප්පකාසිනිය විජය ලක්දිවට පැමිණෙන අවධියේදී ද ජුතින්දර නම් යක්ෂයකු මෙම ප්‍රදේශය පාලනය කළ බව දක්වයි. ජුතින්දර යනු යක්ෂයකුට වඩා යක්ෂයන් විශ්වාස කළ ගෝත්‍රික නායකයෙකු ලෙසින් සැලකීම වඩාත් උචිතය.

ශ්‍රී ලාංකේය වංසකතාවනට අනුව බුදුරදුන්ගේ පහස ලද පළමු ලක්දිව භූමිකලාපය ලෙසින් මහියංගණය දක්වා ඇති අතරම උන්වහන්සේගේ පළමු කේශධාතු නිදන්කොට මෙරට ඉදිකළ ප්‍රථම සත්රියන් ස්තූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්තූප කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් කලාපය ලෙසින්ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම සරභූ මහරහතන්වහන්සේ විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයේ ලබාගත් ගී‍්‍රවා ධාතුව නිදන්කොට පළමු මහියංගණ ස්තූපය දහඅට රියනක් කොට ගොඩනංවන ලද බව ද වංසකතාව දක්වන තොරතුරෙන් මෙම පින්බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට කෙරේ. බුදුරදුන්ගේ පළමු ශ්‍රී ලංකාගමනයේ දී රැකවරණ පිණිස පිරිත් දේශනා කොට මහියංගණ ථූපය පිහිටන ස්ථානයෙහි සමාධියට සමවැදි එහි රැස් වූ දේව සමූහයාට දෘෂ්ට ධර්ම සම්පරායික අර්ථයන් ප්‍රකාශවන්නා වූ ඔවුන්ට යෝග්‍ය වූ ධර්මදේශනා කළ බව වංසත්ථප්පකාසිනීය දක්වයි.
බුද්ධත්වයෙන් නවවැනි මස එළැඹි දුරුතු පුරපසළොස්වක් දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණින් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ දී මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත.
ගංගා නදි නිම්නයේ පිහිටි තුන්යොදුනක් දික් වූ එක් යොදුනක් පළල් වූ මහානාග නමින් හැඳින්වූ මෙම බිම්කඩ මහියංගණය නමින් එවකට හැඳින්වූ බව පැහැදිලි කරුණකි. එමෙන්ම දීපවංස මහියපොක්ඛල නමින් මහියංගණය හඳුන්වා තිබේ. පසුව මණිපො ද මණිභේද වැනි නාම වලින් ද මිණිපේ සහ ඒ ආශි‍්‍රත කලාපයම හඳුන්වා ඇති බව හත්ථවනගල්ල විහාර වංශයෙන් පෙනේ. එමෙන්ම මිණිබේ වේරමිණිබේ යන නාමාවලින් ද එම ප්‍රදේශය හඳුන්වා ඇත. මහනුවර අවධියේ සිට ව්‍යවහාරයට පත් බිම්තැන්න යන්නද මහි අංගන යන පද දෙකින් නිරූපිත වදනක් ලෙසින් සැලකෙන අතර සොරබොර ලේඛනයට අනුව සහ වංසකතාවට අනුව ද මියුගුණු යන නමින් අනුරාධපුර යුගයේ අවසන් භාගයේ සිට මහියංගණය වඩාත් ජනතාව අතර ප්‍රචලිතව පැවැති බව පැහැදිලිය.
ඓතිහාසික සිද්ධින්වල අනුපිළිවෙළ හා එහි වටිනාකම් ද යම් ස්ථානයක් පිළිබඳ ඇගයීමේ දී ඉතිහාසය හා පුරාවිද්‍යාවේ දී වැදගත් වේ. බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුරදුන්ගෙන් තිසරණගත වූ පළමු ශ්‍රී ලාංකේය. පිරිස ද බිහිවනුයේ මහියංගණ භූමිය තුළදීම වීම ශාසනික වශයෙන් වැදගත් කරුණකි. ලක්දිව දී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමන සමන් දෙවියන් ඉතිහාසගත ගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භූමිය තුළ නිදහන් කිරීම තුළින් ස්ථූප නිර්මාණයේ මූල අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් ද මහියංගණයට සුවිශේෂත්වයක් හිමි වේ. ඉඳුනිල් මැණිකෙන් සමන් දෙවියන් විසින් එම ස්තූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වන අතර ධාතුවංසයෙන් එම කරුණ තව දුරටත් තහවුරු කෙරෙයි. නමුත් රාජාවලිය රනින් කළ ථූපයක කේශධාතු නිදහන් කළ බව දක්වයි.
සරභු රහතන් වහන්සේ විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ගී‍්‍රවා ධාතුව ද දහ අටරියනක් උස්වන ලෙසට නිමවන ලද ස්තූපයක නිදහන් කළ බව වංසකතා දැක්වීමෙන් මහියංගණ ස්තූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකරයෙන් පැවැතියේද යන්න පෙන්වාදිය හැකිය. මෙහි ගී‍්‍රවා ධාතුව තැම්පත් කරන අවස්ථාවේ ‘මේදවණ්ණ පාෂාණ’ නම් ගල් විශේෂයන් ගෙන එන ලද සීවලී හා සුමන නම් සෘද්ධිමත් කුඩා සාමණේර දෙනමක් ගැන වංසත්ථප්පකාසීනිය දක්වයි. එමෙන්ම ස්ථූප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වයද එහි දී මතු කෙරේ. බුරුම රට මහා විජිතාවි නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙසටීකාවේ මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑය මෙන් ලෝකයේ ප්‍රකට මහියංගණ නම් චෛත්‍ය පිළිබඳව වර්ණනාවක් කර තිබේ. මෙම මුල් ස්තූප පසුකාලීන ස්තූපවල තාක්ෂණික පාර්ශ්වය හා සංසන්දනයට අපහසු වුව ද දේශීය ස්තූප සම්ප්‍රදායක් මෙරට මහින්දාගමනයට පූර්වයේ සිටම පැවැතියේය යන අදහස මතු කිරීමට මෙම සාධක වැදගත් වේ.
බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමෙන් අනතුරුව මහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ. දේවානම් පියතිස්ස සමය තුළදීම ඔහු සොහොයුරු උද්ධ චුල්ලාභය කුමරු මහියංගණ ස්තූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකතාව දක්වන අතර මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්තූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් තිදෙතිස් ඵල මහාබෝධින් ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තව දුරටත් මහියංගණය පින් බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ෂණීයත්වය දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම මහියංගණය හා ඒ ආශි‍්‍රත කලාපයේ බෞද්ධ පුනරුදයක් ක්‍රිස්තු පූර්ව යුගයේ තෙවැනි සියවසේ සිටම පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය. ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂූන් විෂයෙහි කළ ලෙන් රැසක් මහියංගණ ස්තූපයට දකුණු දිසාවට මඳ දුරකින් පිහිටි ඔලගංගලින් හමුවේ. ප්‍රාදේශීයව විසූ ‘පරුමක’, ‘බත’, ‘ගමික’ හා ‘ආචරිය’ වැනි විරුද දරන පුද්ගලයන් විසින් භික්ෂූන් විෂයෙහි පූජා කළ ලෙන් රැසක් පිළිබඳ තොරතුරු මාවරගලින් හමුව ඇත. නවලාර්කුලමින් ද ලිපි කීපයක් හමුව පැවැතීම භික්ෂූන් මෙම ප්‍රදේශවල විසූ බවටත් බෞද්ධාගම ක්‍රිස්තු පූර්ව යුගයේම මෙම කලාපය තුළ පැතිර තිබූ බවට සාක්ෂි ලෙසින් පෙන්වාදිය හැකි වේ.
දුට්ඨගාමණි රජු දවස මහියංගණ හා ආශි‍්‍රත කලාපය වඩාත් සුවිශේෂ භූමියක් ලෙසින් ඉතිහාසගතය. දුට්ඨගාමණි සිය සටන් ව්‍යාපාරය එළාරට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින් ද මහියංගණය ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබූ අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුට්ඨගාමිණිට නිතැතින්ම හිමිවේ. දුට්ටගාමිණි රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු විසින් මහියංගණ ස්තූපය රියන් අසූවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණයන් නිමවා මෙම බෞද්ධ පුණ්‍ය භූමියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත. සොරබොර වැව ද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සූ බ්‍රෝහියර් මහතා ඒවා දුට්ඨගාමණි රජුගේ මාලිගයේ නටබුන් විය හැකි යැයි අනුමාන කරන මුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය.
දුට්ඨගාමණි සමයෙන් පසු මහියංගණ පුණ්‍ය භූමිය වෙත ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබූ බවට සාධක සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් සනාථ වේ. දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජු මහියංගණ ස්තූපයේ ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්ථවනග්ල විහාර වංසය කියයි. අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිව්වැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සාක්ෂි වංසකතා තුළින් හෙළි දැක්වේ. සිව්වැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳ පොළේ නීති කඩ කොට අසූවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩ මුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණ ඇති බවත් සනාථ වේ. එනම් ‘වත් හිමියන් වහන්සේ මියුගුණු මහවෙහෙර වැඩි කලැගිය දවස’ වශයෙනි. සිව්වැනි මිහිඳු රජුගේ යැයි විශ්වාස කළ හැකි මොනරාගල දඹේගොවින් ලැබුණු ලිපියක ද මහියංගණයේ අභිවෘද්ධිය පිණිස කළ පරිත්‍යාගයක් ගැන තොරතුරු අන්තර්ගතවන බව සිරිමල් රණවැල්ල මහතා පෙන්වා දෙයි. පොළොන්නරු සමයේ දී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබා දී තිබේ. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ බෑනා කෙනෙකුවන මියුගුණ කොදනාවන් ද මෙම ප්‍රදේශයේ වාසය කළ අතර නිශ්ශංකමල්ල රජු මියුගුණ විහාරයේ නව කම් කළ බව ගල්පොත ලිපියෙන් අනාවරණය වේ. කල්‍යාණවති රැජන දවස සිය මිණිපේ සෙල් ලිපියේ දි මහවැලි ගංබඩ පිහිටි මියුගුණ මහාසෑය ගැන සඳහන් කරයි. එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරෙ පිළිසකර කිරීම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී තිබේ. මහනුවර රාජධානි සමයේ ද සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින්බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි.
මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලියි. එමර්සන් ටෙනන්ට් මේ ස්ථානයට දහනමවැනි සියවසේ දී පැමිණෙන විට ස්තූපය කඩා වැටී තිබූ බවත් එහි උස අඩි සියයක් පමණ වන බවත් ඔහුගේ වාර්තාවල දැක්වේ. වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තූපය 1871දී පිළිසකර කිරීම් ඇරඹුණ අතර 1890 දී එහි කොත් පලඳවා ප්‍රකෘතිතත්වයට පත් කොට තිබේ. 1922 වන විට නැවතත් අබලන් වූ ස්තූපය අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් වැඩ අරඹන ලදී. 1949 මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක්ද යන්න ද අනාවරණය විය. වර්ෂ 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව්වීමත් සමඟ මහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකතාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගනීමට ද මං විවර විය.
එමෙන්ම ස්තූපයේ ගඩොල් පරීක්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලී හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණි. මෙම ගර්භය කැණීමේ දී හමු වූ තැම්පත් කොට තිබූ භාණ්ඩ ද පෞරාණිකත්වයෙන් අනූන පුරාවස්තු වේ. මෙහි ලැබුණු අශ්වාරෝහක ප්‍රතිමා හතර සුවිශේෂ නිර්මාණ ගණයේ ලා සැලකේ. එම ප්‍රතිමා අශිවින් දේව පුත්‍රයන්ගේ යැයි පරණවිතාන මහතා අනුමාන කරයි. එමෙන්ම ධාතුගර්භයේ තැම්පත් කොට තිබූ බුදුපිළිම, ධාතු කරඬු, ලෝහමය පහන්, තඹ කලස්, තුන්පා දරඬු, මත කපන ලද සංඛ, පැරැණි කාසි වර්ග, ආභරණ හා මැණික්ගල් යනාදිය ද ශ්‍රී ලාංකේය නිමැවුම් ක්ෂේත්‍රයේ වූ තාක්ෂණික පාර්ශ්වය නිහඬව හෙළිදක්වන අතර විදේශීය සම්බන්ධතා ගැන ද තොරතුර එමඟින් තහවුරු වේ. ධාතු තැම්පත් කොට තිබූ ලෝහයෙන් නිමවා තිබූ ධාතු කරඬු ඒ අතරින් විශේෂත්වයක් හිමි කර ගනියි.
හමුව ඇති බුදු පිළිමවල ද විශේෂත්වයක් දැකිය හැකිය. බොකු ආකාරයට සාදා ඒ තුළ තැම්පත් කොට තිබූ බුදුපිළිම ආශි‍්‍රතයේ කැටයම් පුවරුවක ලියා ඇති පාල යුගයට අයත් නාගරී අක්ෂරයන්ද හමුවීම නිසා මෙම පිළිම, පාල, යුගයේ දී ඊශානදිග ඉන්දියාවෙන් ලබා ගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. අමරාවති කිරිගරුඬින් නිමවන ලද තවත් කුඩා බුද්ධ ප්‍රතිමාවක් ද ලැබී තිබීම ද පුරාවිද්‍යාත්මකව වටිනාකමක් හිමිවීමට හේතුවී ඇත.
මහියංගණ ස්තූපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇති මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. මෙම ශේෂ මෙම සිතුවම් අතුරින් බෝමුල වැඩ හිඳින බුදුරුවක් නිරුපණය කර ඇති එම බුදුරුවට දකුණු පසින් වැඩුණු රැවුලකින් යුත් සෘෂිවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ සිතුවමක මෙන්ම දේවසමූහය පිරිවරකොට ඇති දර්ශනයක් ද එහි අන්තර්ගතයි. ඒ අතරින් ත්‍රිශුලය දරන ශිව ද සිය අත් සතරින් මල්වට්ටයක් ගත් විෂ්ණු ද පැහැදිලිව හඳුනාගත හැකිවේ. මීට අමතරව හිස මුඩු කළ සිවුරක් යැයි සිතිය හැකි වතක් දවටාගත් පිරිසක් ද පසෙකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් කඩුගත් අත් ඇති යම රජුගේ පිරිස යැයි විශ්වාස කළ හැකි පිරිසක් ද වේ. සියුම් රේඛාවන්ගෙන් ඇඳ ඇති මෙම සිතුවම් කහ, තැඹිලි හා සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. මෙම සිතුවම් ඇතැම්හු එකොළොස්වන සියවසට අයත් වේ යැයි අනුමාන කරති. නන්දදේව විජේසේකර ද මේ ගැන දිගු විස්තරයක් කරන අතර බුදුරදුන්ගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව නිරූපණය කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පිනිබිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදුහදවත් සනහා ලු අතර පෞරණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.
අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රාහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලියි ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදු හදවත් සනහා ලු අතර පෞරණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.
දුට්ඨගාමණි සමයෙන් පසු මහියංගණ පුණ්‍ය භූමිය වෙත ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබූ බවට සාධක සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් සනාථ වේ.
දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජු මහියංගණ ස්තූපයේ ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්ථවනගල් විහාර වංසය කියයි. අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිව්වැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සාක්ෂි වංසකතා තුළින් හෙළි දැක්වේ. සිව්වැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳ පොළේ නීති කඩ කොට අසූවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩ මුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණ ඇති බවත් සනාථ වේ. එනම් ‘වත් හිමියන් වහන්සේ මියුගුණු මහවෙහෙර වැඩි කලැගිය දවස’ වශයෙනි. සිව්වැනි මිහිඳු රජුගේ යැයි විශ්වාස කළ හැකි මොනරාගල දඹේගොඩින් ලැබුණු ලිපියක ද මහියංගණයේ අභිවෘද්ධිය පිණිස කළ පරිත්‍යාගයක් ගැන තොරතුරු අන්තර්ගතවන බව සිරිමල් රණවැල්ල මහතා පෙන්වා දෙයි. පොළොන්නරු සමයේ දී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබා දී තිබේ. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ බෑනා කෙනෙකුවන මියුගුණ කොදනාවන් ද මෙම ප්‍රදේශයේ වාසය කළ අතර නිශ්ශංකමල්ල රජු මියුගුණ විහාරයේ නව කම් කළ බව ගල්පොත ලිපියෙන් අනාවරණය වේ. කල්‍යාණවති රැජන දවස සිය මිණිපේ සෙල් ලිපියේ දි මහවැලි ගංබඩ පිහිටි මියුගුණ මහාසෑය ගැන සඳහන් කරයි. එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරේ පිළිසකර කිරීම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී තිබේ. මහනුවර රාජධානි සමයේ ද සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින්බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි.
මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රාහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලියි. එමර්සන් ටෙනන්ට් මේ ස්ථානයට දහනමවැනි සියවසේ දී පැමිණෙන විට ස්තූපය කඩා වැටී තිබූ බවත් එහි උස අඩි සියයක් පමණ වන බවත් ඔහුගේ වාර්තාවල දැක්වේ. වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තූපය 1871දී පිළිසකර කිරීම් ඇරඹුණ අතර 1890 දී එහි කොත් පලඳවා ප්‍රකෘතිතත්වයට පත් කොට තිබේ. 1922 වන විට නැවතත් අබලන් වූ ස්තූපය අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් වැඩ අරඹන ලදී. 1949 මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක්ද යන්න ද අනාවරණය විය. වර්ෂ 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව්වීමත් සමඟ මහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකතාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගැනීමට ද මං විවර විය.
එමෙන්ම ස්තූපයේ ගඩොල් පරීක්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලී හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණි. මෙම ගර්භය කැණීමේ දී හමු වූ තැම්පත් කොට තිබූ භාණ්ඩ ද පෞරාණිකත්වයෙන් අනූන පුරාවස්තු වේ. මෙහි ලැබුණු අශ්වාරෝහක ප්‍රතිමා හතර සුවිශේෂ නිර්මාණ ගණයේ ලා සැලකේ. එම ප්‍රතිමා අශිවින් දේව පුත්‍රයන්ගේ යැයි පරණවිතාන මහතා අනුමාන කරයි. එමෙන්ම ධාතුගර්භයේ තැම්පත් කොට තිබූ බුදුපිළිම, ධාතු කරඬු, ලෝහමය පහන්, තඹ කලස්, තුන්පා දරඬු, මත කපන ලද සංඛ, පැරැණි කාසි වර්ග, ආභරණ හා මැණික්ගල් යනාදිය ද ශ්‍රී ලාංකේය නිමැවුම් ක්ෂේත්‍රයේ වූ තාක්ෂණික පාර්ශ්වය නිහඬව හෙළිදක්වන අතර විදේශීය සම්බන්ධතා ගැන ද තොරතුරු එමඟින් තහවුරු වේ. ධාතු තැම්පත් කොට තිබූ ලෝහයෙන් නිමවා තිබූ ධාතු කරඬු ඒ අතරින් විශේෂත්වයක් හිමි කර ගනියි.
හමුව ඇති බුදු පිළිමවල ද විශේෂත්වයක් දැකිය හැකිය. බොකු ආකාරයට සාදා ඒ තුළ තැම්පත් කොට තිබූ බුදුපිළිම ආශි‍්‍රතයේ කැටයම් පුවරුවක ලියා ඇති පාල යුගයට අයත් නාගරී අක්ෂරයන්ද හමුවීම නිසා මෙම පිළිම, පාල, යුගයේ දී ඊශානදිග ඉන්දියාවෙන් ලබා ගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. අමරාවති කිරිගරුඬින් නිමවන ලද තවත් කුඩා බුද්ධ ප්‍රතිමාවක් ද ලැබී තිබීම ද පුරාවිද්‍යාත්මකව වටිනාකමක් හිමිවීමට හේතුවී ඇත.
මහියංගණ ස්තූපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇති මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. මෙම ශේෂ සිතුවම් අතුරින් බෝමුල වැඩ හිඳින බුදුරුවක් නිරුපණය කර ඇති එම බුදුරුවට දකුණු පසින් වැඩුණු රැවුලකින් යුත් සෘෂිවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ සිතුවමක මෙන්ම දේවසමූහය පිරිවරකොට ඇති දර්ශනයක් ද එහි අන්තර්ගතයි. ඒ අතරින් ත්‍රිශුලය දරන ශිව ද සිය අත් සතරින් මල්වට්ටයක් ගත් විෂ්ණු ද පැහැදිලිව හඳුනාගත හැකිවේ. මීට අමතරව හිස මුඩු කළ සිවුරක් යැයි සිතිය හැකි වතක් දවටාගත් පිරිසක් ද පසෙකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් කඩුගත් අත් ඇති යම රජුගේ පිරිස යැයි විශ්වාස කළ හැකි පිරිසක් ද වේ. සියුම් රේඛාවන්ගෙන් ඇඳ ඇති මෙම සිතුවම් කහ, තැඹිලි හා සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. මෙම සිතුවම් ඇතැම්හු එකොළොස්වන සියවසට අයත් වේ යැයි අනුමාන කරති. නන්දදේව විජේසේකර ද මේ ගැන දිගු විස්තරයක් කරන අතර බුදුරදුන්ගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව නිරූපණය කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදුහදවත් සනහා ලු අතර පෞරණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.