සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය

කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ”ටැම්පිට රජමහා විහාරය’’ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප‍්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ.
පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ.
කුරුණෑගල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක පිහිටි මෙම ඉපැරැණි පුදබිම හමුවෙයි.
විහාරයේ ඇති ඉපැරැණි ටැම්පිට විහාරය අදටද ඉතා සුරක්ෂිතව පවතී. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාර පවතින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරය සංරක්ෂණය කර ඇත.
ඉපැරැණි බුද්ධ ප‍්‍රතිමාව සමග විෂ්ණු සහ කතරගම දෙව්වරුන්ගේ පිළිමවලට අමතරව සපුමල් බණ්ඩාර දෙවියන්ගේ පිළිමය මෙම විහාරගෙයි පිහිටුවා තිබේ. සාමාන්‍යයෙන් කතරගම දෙවිදුන්ට අත් හයක් පිහිටිය ද මෙහි ඇතුළත පිළිමයේ කතරගම දෙවිඳුන්ට අත් දෙකක් පමණක් තිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විජය සුන්දරාම විහාරාධිපති අරඹේපොල සීවලි හිමියන් පැවසුවේ දෑතත් සහිත කතරගම දෙවිඳුන්ගේ මෙම පිළිමය ඉතා දුර්ලභ එකක් බවය.
මීට අමතරව මෙම විහාරයේ වැලිවිට අසරණ සරණ සංඟරාජ නාහිමියන්ගේ සිතුවමක්ද පවතී. සංඟරාජ හිමියන්ගේ විස්තර කොපමණ සඳහන් වුවද උන්වහන්සේගේ රූපයක් දැකීමට නොතිබීම මත මෙහි ඇති සංඝරාජ නාහිමියන්ගේ ඉපැරැුණි සිතුවම ඉතා දුර්ලභ සිතුවමක් ලෙස සැලකේ.
සංඝරාජ නාහිමියන් වැඩිවිසු බව සඳහන් වන්නේ විහාරස්ථ අල්ප සංඛ්‍යාවකි. ඒ අනුව මෙම විහාරයේද සංඝරාජ නාහිමියන් වැඩ වසන්නට ඇති බවට මෙම සිතුවම කදිම සාධකයක් වනු ඇත. සංඝරාජ නාහිමියන් මෙම විහාරයෙත්, අවට වූ තවත් විහාරයක වැඩ සිටි බව ඉතිහාසගත තොරතුරුවලින් කියැවේ.
මෙම ප‍්‍රදේශයට අධිපතිව වැඩ වෙසෙන බව විශ්වාස කෙරෙන සපුමල් බණ්ඩාර කුමරුගේ සිතුවමක්ද ටැම්පිට විහාරයේ ඉපැරැුණි සිතුවම් අතර වෙයි. සපුමල් කුමරුගේ සිතුවමක් සහිත වයඹ ප‍්‍රදේශයේ එකම විහාරය මෙය ලෙස ද සැලකේ.
මෙම විහාරයේ අභ්‍යන්තරයේ අගය දැක්වෙන සිතුවම් රැසක් පැවතිය ද ඒවා මේ වන විට බොහෝ දුර්වර්ණ වී පවතී,
මහනුවර යුගයේදී කලින් කලට විනාශ වී ගිය ගොඩනැගෙමින් තිබෙන විහාරයේ සංඝාවාසය ද වසර 150 කටත් වඩා ඉපැරැණිය. විහාර භූමියේ ඇති ඓතිහාසික බෝධීන් වහන්සේද වසර පන්සීයකටත් වඩා ඉපැරැණි බොහෝ හාස්කම් සහිතය.
මෙම බෝධියට බාරහාර වීමෙන් දරුඵල නොමැති කතුන්ට දරුඵල ලබා දෙන බවට අතීතයේ සිටම විශ්වාසයක් පැවතීම හේතුවෙන් පිට පළාත්වල ජනතාවද මෙහි පිහිට පතා විශාල වශයෙන් පැමිණෙන බව සීවලී හිමියෝ පැවසූහ.
මෙම විහාරස්ථානයේ ඉපැරැණි විෂ්ණු දේව ප‍්‍රතිමා දෙකක්ද පිහිටුවා තිබේ. ටැම්පිට විහාරයේද මහනුවර යුගයේ ඉදිකෙරුණු විෂ්ණු දේවප‍්‍රතිමාවත් තිබෙන බැවින් අතීතයේ සිටම මෙම විහාරස්ථානයෙන් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයද ජනතාවට ලැබෙන බවට ජනතාවගේ විශ්වාසයක් පවතී.
අවට හාත්පස දර්ශනීයව පෙනෙන කඳුවැටි කීපයකට මැදිව උස්බිමක පිහිටි විජයසුන්දරාරාම විහාරස්ථානයට අවට පිහිටි තවත් විහාරස්ථාන කීපයක්ද දර්ශනය වේ.
ඉතා උස්බිමක පිහිටා තිබෙන බැවින් මෙම පුදබිමේ අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව ද සඳහන් වේ. රහතන් වහන්සේලා වැඩ සිටි බවට සාධක සහිත ජලයෙන් පිරුණු ඉපැරැණි ගල්වලවල් ද මෙහි පිහිටා තිබේ. මෙම ගල් වලවල් ප‍්‍රමාණයෙන් කුඩා වුවද ඉතා ගැඹුරින් යුක්ත වේ.
අතීතයේදී මෙම විහාර භූමියේ පිහිටි එක් ස්ථානයක සිට බැලූ විට ඉතා ඈතින් ශ්‍රී පාදය දර්ශනය වූ බව ප‍්‍රදේශයේ වෙසෙන ජනතාව පවසන සුවිශේෂී කරුණකි. අද එවැනි දසුන් නොපෙනුන ද එම ස්ථානයේ සිට බැලූවිට ඉතාම දුරට කඳු වළලූ ගණනාවක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. මෙම විශේෂත්වය කියා පෑමට එම ස්ථානයේ ඉදිකර තිබෙන ශ්‍රී පාදයේ ආකෘතිය ද සාමාන්‍යයෙන් විහාරස්ථානයක නොදැකිය හැකි සුවිශේෂී දසුනකි. දුර දක්නයකින් නිරීක්ෂණය කළහොත් ගම්පොළ පිහිටි අම්බුළුවාව කන්ද ඉතා හොඳින් මෙම ස්ථානයේ සිට දැක බලාගත හැකි බව විහාරාධිපති සීවලී හිමියන් පැවසූහ.
වත්මන් විහාරාධිපති සීවලී හිමියන්ගේ කැපවීම මත අතීත වස්තුවක් ලෙස සැලකෙන මෙම විහාරය අදට ද ඉතා සුරක්ෂිතව පවතී. කලකට පෙර ගරාවැටී විනාශ වෙමින් තිබු ටැම්පිට විහාරය උන්වහන්සේගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා සංරක්ෂණය කර තිබේ.
මල්වතු විහාරයීය මහානායක හිමියන්ගේ අනුශාසනා පරිදි මැලේසියාවේ සෙන්තුල් ශ්‍රී ලංකා මහා බෞද්ධ විහාරාධිපති බුටාවත්තේ සරණංකර නායක හිමියන්ගේ දායකත්වයෙන්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද කිරිගරුඩ ප‍්‍රතිමා කීපයෙන් එකක් මෙම ඓතිහාසික විහාරස්ථානයේ වැඩ හිඳුවීම පසුගිිය ජනවාරි මාසයේ දී අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් සිදු කෙරුණි.
සමාජ ඉරියව්වෙන් යුත් කිලෝග‍්‍රෑම් දෙදහසක් බරැුති අඩි හතරක් උසැති මෙම ප‍්‍රතිමාව වයඹ පළාතටම ලැබුණු එකම ප‍්‍රතිමාව වීමද විශේෂ කරුණකි. දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑළ මහතාගේ දායකත්වයෙන් කිරිගරුඩ ප‍්‍රතිමාව ලබා දී තිබේ.
සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න
2012 සැප්තැම්බර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
විජයසුන්දරාම විහාරය
නව කිරිගරුඩ බුද්ධ ප‍්‍රතිමාව සහිත විහාර මන්දිරය
විහාරයේ ඇතුළත සිතුවම් හා පිළිම
සංඝරාජ නාහිමියන්ගේ සිතුවම
විහාරාධිපති සීවලි හිමි

රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය

අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටයක සුප‍්‍රසිද්ධ කන්දේ විහාරස්ථානය පිහිටා ඇත.
බෙන්තොට ගලපාත විහාරය මූලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධි රාජසිංහ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජවහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දේද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්ද්‍රසාර හිමියෝය. විහාරස්ථ වර්තමාන දාගැබ ඉදිකිරීමට ප‍්‍රථම කුඩා දාගැබ ඉදිකර ඇත්තේ බුද්ධ වර්ෂ 2327 දී බව ලේඛනගතවී තිබීම විහාරය ආරම්භය ගැන තවත් සාක්ෂියකි.
දිනපතා පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා, දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හා මුරුතැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන් අතර මුල් තැනක් ගනී.
උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන් වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් මෙහි මුල්ම විහාරාධිපති ධුරය දරමින් විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා ඇත. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජනරාම, යන විහාරාධිපතීන් වහන්සේලා විහාරයේ සංවර්ධන කටයුතුවල නියමුවරු වූහ.
බුද්ධ වර්ෂ 2479 දී ඉදි කෙරුණු වර්තමාන දාගැබ ඉදිරිපිට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් සහිත කුඩා මැදුරක් හා දැකුම්කළු මලසුන් ගෙයකි. අට පැතලි වේදිකාවක් මත නිර්මාණය කර ඇති දාගැබ විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරයි.
මහනුවර යුගයේ චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන පැරණි බිතුසිතුවම්වලින් යුත් ඉපැරැුණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරැණි සුවිසල් බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියා පාන ප‍්‍රබල සංකේතයකි. ඒ වට බෝධිඝරයක්  ඉදි කර ඇත.
එමෙන්ම මෑතකදී ඉදි කරනු ලැබූ 107 රියන් සමාධි බුදු පිළිමය විහාරස්ථානයට ගෙනෙනුයේ අසිරිමත් දසුනකි. බුදු පිළිමය යටින් ප‍්‍රතිමා, සිතුවම් සහිත විහාර ගෙයක්ද නිර්මාණය කර තිබේ.
බුදු මැදුර ඉදිරිපිට ඇති සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ඝනයේ නිර්මාණයකි. ආරක්කු හා සිමෙන්ති බදාමයෙන් කළ දොරවල්වලින් යුත් මෙහි කඟවේනා හා සිංහයා ලාංඡුන දක්නට ලැබේ. තොරණ මුදුනේ සර්වඥ ධාතු තැන්පත් කළ කුඩා දාගැබකි.  ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි. බුදු මැදුර ප‍්‍රතිමා සහ බිතුසිතුවම්වලින් යුක්තය.
බුදු මැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින්  සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳි පිළිමයකි. කන්දේ විහාරය ප‍්‍රසිද්ධියට පත්වීමට බලපෑවේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. ඒ හැරුණු විට අනෙකුත් දේවාලවලට භාරහාර ඔප්පු කිරීම සඳහා දිනපතාම දහස් ගණන් බැතිමත්හු මෙහි එති.
වර්තමාන විහාරාධිපති කළුතර බෙන්තර දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ විහාරස්ථ වර්තමාන දියුණුව සැළසී ඇත. වර්තමාන විහාරාංගයන් වන තෙමහල් සංඝාවාස විශ‍්‍රාම ශාලාව, විහාරයට ප‍්‍රවිෂ්ඨ වන මාර්ගය, නව දේවාල පන්තිය, බෝධියේ රන්වැට, දාන ශාලාව සහිත සිව් මහල් සංඝාවාසය ආදියටත් විහාරාධිපතීන් වහන්සේ විහාර සංවර්ධනයට කැපවී ඇති බවට සාක්ෂි වේ. ප‍්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති උන් වහන්සේ සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් විහාර දියුණුවට දිවා රෑ නොබලා වෙහෙස වෙති. උන් වහන්සේ මග පෙන්වීම යටතේ ඉදිකෙරුණු ධාතු මන්දිරය ශ්‍රී සරණතිස්ස පුස්තකාලය හා කෞතුකාගාරයක් සහිත නව සය මහල් ගොඩනැගිල්ල ද විහාරස්ථානය තව තවත් අංග සම්පූර්ණ කිරීමකි.
අපවත්වී වදාළ පරිවේනාධිපති යටදොළවත්තේ ආරියවංශ හිමියෝ ද මෙම විහාරස්ථානයේ දියුණුවට සිදුකළ වෙහෙස අපමණය. කන්දේ විහාරස්ථ ක්‍ෂේත‍්‍රරාම මහ පිරිවෙණෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමට පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් ද, ජපන් භාෂා මධ්‍යස්ථානයක් ද විහාරය පිළිබඳ වෙබ් අඩවියක් ද ඇත. දායක කාරකාදීන්ගේ සහාය ඇතිව විහාරාධිපති බටුවන්හේනේ නාහිමියන්ද ක්‍ෂේත‍්‍රාරාම පරිවේණාධිපති කොක්කාවිට විපුලසාර හිමියන්ද විහාරස්ථ දියුණුව උදෙසා ගෙන යන කාර්ය භාරය සුළු පටු නොවේ.
විහාරස්ථානයට ලබන්නා වූ පුද පඬුරුවලින් අවට ප‍්‍රදේශයන්හි පාසල් සහ විහාරස්ථාන සඳහා මහල් ගොඩනැගිලි ඉදිකර දීමටද විහාරාධිපති හිමිපාණෝ කටයුතු කරති. මේ වන විට එවැනි පරිත්‍යාග රැුසක් සිදු කරදී තිබේ.
සතියේ දින හතේම උදේ සිට රාත‍්‍රිය දක්වා මෙම පුද බිම සැදැහැවතුන් බැතිමතුන්ගෙන් පිරී පවතී. විහාරයේ පරිසරය රැුකෙන පරිදි තැඹිලි කෝම්බ හා නොදිරන දෑ විහාර භූමියේ නොදැමීමත් මෙහි එන සැදැහැවතුන්ගේ යුතුකමකි.
බෙන්තොට ජේ. ඉඳුරුවගේ
2012 සැප්තැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


107 රියන් එළිමහන් බුදු පිළිමය
දාගැබ
ඉපැරැණි බෝධිය
විහාර ගෙය ඉදිරිපස සුවිසල් තෙමහල් තොරණ
විහාරාධිපති හිමි

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.