සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

අභයගිරි ස්තූපය

ස්වර්ණ වෘෂභ රාජයකුගේ කුසයෙහි ධාතූන් වහන්සේ තැන්පත් කොට වළගම්බා මහ රජු විසින් කරවූ අභයගිරි ස්තූපය


ලංකාවේ බෞද්ධ ස්තූප - 24:

කත නව මණි කම්මෙ ධාතු ගබ්භෙ සුරම්මෙ
කනක වසභ කුච්ඡිං ධාතුනා පූරයිත්වා
විහිතමභය රඤ්ඤා ධඤ්ඤ පුඤ්ඤා ධිවාසො
අභයගිරි විහාරෙ චාරු ථූපං නමාමි

කරන ලද මාණික්‍ය කර්ම ඇති ධාතු ගර්භයෙහි ස්වර්ණ වෘෂභ රාජයකුගේ කුසයෙහි ධාතූන් වහන්සේ තැන්පත් කොට වළගම්බා මහ රජු විසින් කරවන ලද අභයගිරි ස්තූප වහන්සේ වන්දනා කරමි.

වළගම්බා රජතුමා විසින් අභයගිරි ස්තූපය නිර්මාණය කරන ලදැයි සඳහන් වේ. මෙම ස්තූපය, බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයේ දී බුද්ධපාද ලාංඡනයක් පිහිට වූ ස්ථානයක් මත අඩි 400 ක් පමණ උස් වූ ස්තූපයක් ලෙස පැවති බව පාහියන් හිමියන්ගේ වාර්තාවන්හි සඳහන් ව ඇත.

ඒ අනුව අපට සිතිය හැකි වන්නේ සිරිපතුල් සටහන් සහිත සෙල් පුවරුවක් මත මෙම ස්තූපය ඉදිකර තිබෙන්නට ඇති බවයි. ඒ අනුව “ශිලාචේතිය“ මත අභයගිරි ස්තූපය ඉදිකළා යැයි සඳහන් කළ බව ද සිතිය හැකි ය. ශෛලමය කුඩා ස්තූපයක් මැදිකර අභයගිරි ස්තූපය ඉදිකරන්නට ඇතැයි ද, තවත් අදහසකි. මෙම අභයගිරි ස්තූපය උත්තර චෛත්‍ය, බයාගිරි වැනි තවත් විවිධ නාමයන්ගෙන් ද හඳුන්වා ඇත.

පසුකාලීන ව ලිය වූ සද්ධර්ම රත්නාකරයෙහි සඳහන් වන ආකාරයට, මෙම ස්තූපයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කළ වෘෂභයකුගේ හැඩයෙන් යුතු කරඬුවක් තැන්පත් කර ඇති බව ද සඳහන් වෙයි. එසේ ම “ධර්ම ධාතු“ නිධන් කර ඇති බවට ද ජන ප්‍රවාදයක් වේ. ධර්ම ධාතු යනු මහායාන ධරණී මන්ත්‍රය හා සූත්‍ර සහ ඒවායේ යෙදෙන හරවත් කෙටි වැකි රන්, රිදී, තඹ වැනි ලෝහ තහඩු මත ලියා ස්තූපයන්හි නිදන් කිරීම ය. “ධර්ම ධාතු“ පිළිබඳ සංකල්පය මහායානික බෞද්ධ මතයක් වේ යැයි ද සඳහන් වේ. මෙම අභයගිරි ස්තූපය සර්වාස්තිවාද මහායාන නිකායේ සම්ප්‍රදාය අනුව ඉදිකරන ලද්දක් හෙයින් එහි ධර්ම ධාතු නිධන් කර තිබෙනු ඇතැයි ද විශ්වාස කෙරේ.

බෞද්ධ ලෝකයේ උසම ස්තූපයන් අතරින් දෙවැනි තැන ගන්නේ අභයගිරි ස්තූපයයි. මෙහි විශ්කම්භය අඩි 355 ක් වන අතර, වට ප්‍රමාණය අඩි 1355 කි. අභයගිරි සංකීර්ණය එක්තරා යුගයක ලොව පිහිටි විශිෂ්ටතම බෞද්ධ ශිල්පායතනයක් විය. අක්කර 50 ක් පුරා පැතිරුණු විහාර සංකීර්ණයෙහි භික්ෂූන් වහන්සේ 5000 ක් පමණ වාසය කරන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.

මහා පරාක්‍රමබාහු රජතුමා විසින් අවසන් වරට ප්‍රතිසංස්කරණය කළ මෙම ස්තූපයේ උස අඩි 280ක් වූ බව සඳහන් වේ. වර්තමානයේ ශේෂව තිබෙන ස්තූයේ උස අඩි 245 ක් පමණ යැයි ද සඳහන් වේ. මුල් ම ස්තූපයේ පේසා තුනක්, ඒ මත ගර්භයත්, ගර්භය මත හතරැස් කොටුවත්, හතරැස් කොටුව මැද යූපය හා ඡත්‍රයත් විය. “සලපතල මලුව“ මත සිව් දිසාවේ වාහල්කඩ සතරකි. ඒ අතර විහාර මන්දිර හා මලසුන් ද වේ. අක්කර 10ක පමණ ප්‍රදේශයක පැතිර පවතින ස්තූප අංගනය විධිමත් වාස්තු විද්‍යාත්මක සැලසුමකට අනුව සකස් කර තිබේ.

මුල් අවධියේ දී මෙම ස්තූපය බුබ්බුලාකාර හැඩයකින් යුක්ත වන්නට ඇති අතර, වර්තමානයේ බුබ්බුලාකාර හැඩයට සමීප ධාන්‍යාකාර ස්වරූපයකට ළං වූ හැඩයකින් යුතු වේ. කි‍්‍ර. ව. 7 වෙනි සියවසේ දී පමණ සිදු කරන ලද ප්‍රතිසංස්කරණයන්හි දී මෙහි ප්‍රධාන වෙනස්කම් සිදු වූ බව සිතිය හැකි යැයි සඳහන් වේ.

පසුකාලීන ව ලංකාද්වීපයේ රජකම් කළ රජවරුන් විසින් අභයගිරි ස්තූපය හා විහාරය වරින් වර ප්‍රතිසංස්කරණය කරන ලද බව හා විවිධ නවාංග රාශියක් ද එක් කරන ලද බව සඳහන් වේ. ඒ අතර 1 වෙනි ගජබාහු රජතුමා, කනිට්ඨතිස්ස රජතුමා, මහසෙන් රජතුමා, 3 වැනි සේන රජතුමා, 1 වෙනි පරාක්‍රමබාහු රජතුමා යන අය විශාල වශයෙන් අනුග්‍රාහ දැක් වූ රජවරුන් ලෙස සඳහන් ව ඇත.

මෙලෙසින් විවිධ රජවරුන් විසින් ඉදිකරන ලද ආගමික ගොඩනැඟිලි, පිළිම, පොකුණු යනාදිය ද වැඳුම් පිදුම් කළ හැකි පූජනීය ස්ථාන ද, දැක බලා ගත යුතු ස්මාරක ද රාශියක් පවතී.

අභයගිරිය ස්තූපයේ දැනට භාවිත වන ප්‍රධාන දොරටුව ඉදිරිපස, දොරටුව දෙපැත්තේ පිහිටා තිබෙන සංඛ හා පද්ම බහිරව මූර්තියන්ට බොදු ජනතාව විශේෂ පුද පූජා පවත්වන්නේ යැයි සඳහන් වේ. එහි විශේෂත්වය නම් නොයෙකුත් දුක් කරදර, හිරිහැර, රෝග පීඩාදිය දුරුවන බවත්, සෙත ශාන්තිය හා යහපත උදාවන බවත් විශ්වාස කිරීමයි.

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.