සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

විහාර ඉදිකිරීම ආරම්භ වූ හැටි...

හොරණ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්‌ත්‍රපති 
පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

බුදුරජාණන් වහන්සේ පහළ වූ මුල් කාලයෙහි භික්‌ෂුන් වහන්සේලාට වාසස්‌ථාන තිබුණේ නැත. බුදු සසුනෙහි පැවිදිව සසර දුක නැති කිරීමම මූලික අභිප්‍රාය වූයෙන් ආරාම, සෙනසුන් පිළිබඳ එතරම් තැකීමක්‌ නොවීය. ඒ සඳහා අවසරය ලැබෙන්නේ පසුකාලීනවය.

චුල්ලවග්ග පාලියේ සේනාසනඛන්ධයකට අනුව විහාරයන්හි ආරම්භය මෙසේ සිදුවිය. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට නුදුරු කලන්දක නිවාපයෙහි වැඩවාසය කරන කල භික්‌ෂුන්ට සෙනසුන් නොපනවන ලද්දේ උන්වහන්සේලා රුක්‌මුල්හිද, පර්වතයෙහිද, කඳුපාමුලද ගල්ලෙන්හිද, සොහොනෙහිද, වනපෙතෙහිද, එළිමහන් පිදුරු ගොඩෙහිද යන ස්‌ථානයන්හි වෙසෙති. තවද උන්වහන්සේලා බිමට හෙලූ ඇස්‌ ඇතිව දුටුවන් පහදවන සන්සුන් ඉරියව්වෙන් එම ස්‌ථානවලින් නික්‌මෙති.

මේ කාලයෙහි දිනක රජගහනුවර ප්‍රධාන සිටුතුමා උයනට යමින් සිටියේය. ඔහු සංවර වූ සංසුන් ඉරියව්වලින් යුක්‌ත භික්‌ෂුන් වහන්සේ රුක්‌මුල් පර්වත ගල්ලෙන් ආදියෙන් නික්‌මී වඩින අයුරු දුටුවේය. එම සංවරය වූ භික්‌ෂුන් දුටු හෙතෙම පැහැදී, මා විහාරයක්‌ කරවුවොත් ඒ මාගේ විහාරයන්හි වසන්නෙහුදැයි ඇසුවේය. එවිට භික්‌ෂුන් ප්‍රකාශ කරන්නේ 'ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ නොඅනුදක්‌නා ලදහ' යි යනුවෙනි. එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා එය තමාට දන්වන ලෙස සිටුතුමා භික්‌ෂුන්ට දැන්වීය. අනතුරුව මෙපුවත භික්‌ෂුන් විසින් බුදුරජාණන් වහන්සේට දැන්වූයෙන් ඒ තථාගතයන් වහන්සේ

'අනුජානාමි භික්‌ඛවෙ පංච ලෙනානි විහාරං අඩ්ඪයොගං පාසාදං හම්මියං ගුහාති'

'මහණෙනි, විහාරයද, ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙයද දික්‌ පහයද සඳලු සහිත ගෙයද, ගුහාවද යන ලෙන් පස අනුදනිමි' යි වදාළ සේක. මෙම අවසරය භික්‌ෂුන් විසින් රජගහ සිටුතුමාට දැන්වූයෙන් ඔහු එක්‌ දිනකදී වෙහෙර සැටක්‌ ඉදිකරනු ලැබීය. විහාර ඉදිකරවා පසුදින තම නිවසට බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරවා සඟසතු මහා දානයක්‌ ද පිරිනමා අනතුරුව සිටුතෙම භාග්‍යවතුන් වහන්සේට දන්වන්නේ තමා විහාර හැටක්‌ කරවූ බවත්, එය කෙසේ පූජා කරන්නේ දැයි නොදන්නා බවත්ය. එවිට බුදුරදුන් සිටුතුමාට දන්වන්නේ,

'තේනහි තවං ගහපති තෙ සට්‌ඨි විහාරෙ ආගතානාගතස්‌ස චාතුද්දිසස්‌ස සංඝස්‌ස පතිට්‌ඨාපේහි'

'ගැහැවියෙනි, එසේ වී නම් තෙපි හැම වෙහෙර පැමිණි නොපැමිණි සිවුදිග වැසි සඟනට පිරිනමමු' යනුවෙනි. සිටුතුමාද එසේම කළේය. අනතුරුව සිටුතුමා ඇතුළු පිරිසට අනුමෝදනා දහම් දෙසන්නේ

'විහාරය ශීතයද උෂ්ණයද නසයි. එයින් අන්‍ය වූ චණ්‌ඩ මෘගයන්ද බඩගා යන සතුන් ද මැසි මදුරුවන්ද ශීත සුළං වැසිද බැහැර කෙරෙයි'. තවද එයින් අන්‍ය වූ හටගත් නපුරු අවු සුළං ද දුරුවෙයි. සංඝයාට විහාර කරවාදීම තුළින් තනිව හිඳිමින් ධ්‍යාන කිරීමටත්, විදර්ශනා තනිව වැඩීමටත් පහසුවනු පිණිස අග්‍ර දෙයකැයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ සේක. 

මෙමගින් සෙනසුනක්‌ අවශ්‍ය වන්නේ ඇයිදැයි යන කරුණ පහසුවෙන් වටහාගත හැක. මෙලොව ජීවිතයේ ආරක්‌ෂාව සඳහාත්, සසර ගිනි නිවා සසර කතරින් එතෙරවීම සඳහා උත්සුකවීමටත් යන අංග එයින් විද්‍යමාන වේ. 

තවදුරටත් බුදුරජාණන් වහන්සේ ආනිසංස දේශනා කරමින් නුවණැති සත්පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දකින්නේ, සිත්කළු විහාරයක්‌ කරවන්නේය (විහාර කාරයෙ රම්මේ) එහි ඇසූ පිරූ තැන් ඇති භික්‌ෂුන් වාසය කරන්නේය. වැඩවසන භික්‌ෂුන් විෂයෙහි ආහාරපාන (අන්නංච පානංච) වස්‌ත්‍ර ශයනාසනද (වස්‌ථ සේනාසනානිච) සෘජු ගුණ ඇති භික්‌ෂුන් විෂයෙහි විශේෂයෙන් ප්‍රසන්න වූ සිතින් පිරිනමන්නේය.

(දදෙයය උඡ්භූතෙසු විප්පසන්නේන චෙත්‍යා) මෙමගින් කරනු ලබන පූජා ලබාගන්නා භික්‌ෂුව යම් දහමක්‌ ඉගෙන ආස්‍රව රහිත වූයේ පිරිනිවීමට පත්වේ. එමෙන්ම දුක දුරුකරන දහම් මඟ අන්‍යයන්ටද දේශනා කරන්නේය.

මෙලෙස විහාර පූජාවේ උසස්‌ අනුසස්‌ රජගහ සිටුතුමාට දේශනා කරමින් එයින් භික්‌ෂුන් වහන්සේට මෙන්ම අන්‍ය ලෝකයාටද මහත් උපකාරයක්‌ වන ආකාරය පෙන්වා දුන් සේක.

තථාගතයන් වහන්සේ මෙසේ භික්‌ෂුන්ට විහාර අනුදන්නා ලදැයි ජනතාව වෙත දැන ගන්නට ලැබීමත් සමග බොහෝ දෙනා විහාර කරවා පූජා කිරීමට ඉදිරිපත් වූහ.

එකල භික්‌ෂුන්ට තනන ලද විහාරයන්හි අංගසම්පූර්ණ බවක්‌ නොතිබූ බව සේනාසනඛන්ධකයෙන් පෙනේ. ඒ අනුව තනාදුන් විහාරයන්හි දොරපලුවක්‌ නොතිබිණි. එහෙයින් සර්පයන්, ගෝනුස්‌සන්, පත්තෑයන් ආදී සතුන් ගෙතුලට පිවිසි බැවින් ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වනු ලැබිණි. ඒ සඳහා බුදුරදුන් 'මහණෙනි, දොරපලුව අනුදනිමි' (අනුජානාමි භික්‌ඛවෙ කවාටන්ති) යනුවෙන් වදාළ සේක.

මේ ආකාරයට විහාරාරාමවල එක්‌ එක්‌ අංගෝපාංගයන් සඳහා වෙන වෙනම අවසර ගැනීමට භික්‌ෂුන්ට සිදුවිය. ඒ සෑම අවස්‌ථාවකටම යම්කිසි හේතුවක්‌ ද විය. අවශ්‍යතාවක්‌ අනුව විහාරයේ දොර, දොරබාව, උතුරුලීය, අගුල, රැහැන, කෙසිසිදුර, ලෝහමුවා යතුර, ලීමුවා යතුර, අංමුවා යතුර ආදී යතුරු තුනද යතුරු ඉද්ද ආදියට අවසර ලැබිණි. මෙයින් දොරට අවශ්‍ය සම්පූර්ණ බවද විවිධ හේතු සාධක නිසා උපන් බව මෙයින් පැහැදිලි වේ.

තවද විහාරයේ බිත්තිවල බදාම ආලිප්ත කිරීම, වා කවුලු තැබීමද සිදුවිය. වා කවුලු දැල් වාකවුලු, තුන් වර්ගයකි. ගඩොලින් කළ වාකවුලුව, කූරු වාකවුලු ආදියයි. වාකවුලුව අතරින් වවුලන්, ලෙහෙනුන් ගෙට පිවිසියෙන් ඒ සඳහා රෙදි පාපිස්‌නක්‌ බැඳීම, දොර පලුවක්‌ දැමීම සඳහා අවසර ලැබිණි. බිත්තිවලින් පස්‌ වැටෙන බැවින් සිවිලිමක්‌ ලෙස උඩු වියනක්‌ ද අනුදැන ගත්තේය. තවද බිම නිදන බැවින් සිවුරුවල මඩ තැවරෙන බැවින් බිමට නිදා ගැනීමට තණ ඇතිරියක්‌ද, තණ ඇතිරිය මීයන් කන බැවින් පිලක්‌ද, පිලෙහි සිට පාද රිදෙන බැවින් වේවැල් ඇඳක්‌ද (බිදල මඤaචක) බුදුහු අනුදැන වදාළහ. මෙලෙස ඒ ඒ අවශ්‍යතා සඳහා අවසරය ලැබෙන්නේ පවතින තත්ත්වය මත ගැටලුකාරී බවක්‌ ඇතිවූ විටය. මෙමගින් භික්‌ෂුන්ගේ අවශ්‍යතා සඳහා සානුකම්පිතව බලා ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම ඒ ඒ අවස්‌ථානුකූලව ලබාදී ඇති අයුරු පෙනේ.

ඊට අමතරව භික්‌ෂුන්ට විවිධ පාරිභෝගික භාණ්‌ඩ ලැබී ඇත. එක්‌කෝ අතහැර දමන ලද දෙයක්‌ නැතිනම් කෙනකු විසින් කරනු ලබන පරිත්‍යාගයක්‌ විය හැකිය. එවැනි අවස්‌ථාවල ඒ ඒ භාණ්‌ඩ පරිහරණය සඳහාද අවසර ලබාදී ඇත. ඒවා අතර මසාරකයක්‌ (පා විද අටනින් පිවිස්‌වා කළ ඇඳක්‌) මසාරක පුටුවක්‌, බුන්දිකා බද්ධයක්‌ (විට්‌ටම් විද එහි පා යොදා තනන ලද ඇඳක්‌), බුන්දිකාබද්ධ පුටුව, කකුලු පා සහිතව සාදා ඇති ඇඳ සහ පුටු, සතරැස්‌ පුටුව, සප්තාංගයක්‌ (කවිච්චිය), උස්‌ කවිච්චිය පීඨිකාවක්‌ (රෙදි කඩක්‌ බැඳි පුටුව), පුවරු පා පුටුව, ලෑලි බංකුව, පිදුරු පුටුව යනාදීන්ට ද අවසර ලැබුණු බව සඳහන් වේ. ඉතා උස්‌ ඇඳ පරිභෝගයට අවසර ලබාදී නැත.

කොට්‌ටය සඳහා අවසරය ලැබුණු අතර රුක්‌ පුලුන්, වැල් පුලුන්, තණ බට ආදියෙන් ලැබෙන පුලුන් සඳහා අවසරය ලද බව දැක්‌වේ. හිසට පමණක්‌ කොට්‌ටය දැරීමටත් සිරුරේ බාගයකට වඩා දිග කොට්‌ට සඳහා අවසර ලබා නොදුන් අතර ඒවා පරිභෝග කිරීමෙන් දුකුලා ඇවැත් වන බවද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. මේ සඳහා හේතු වූයේ ගිහි මිනිසුන් භික්‌ෂුන්ට සැප පහසුව වැඩි යෑයි දොස්‌ නැගීම හේතුවෙනි.

තවද බිත්තිය, බිම ආදියෙහි සුනු-මැටි පිළියම් කිරීමටද අවසරය ලැබිණි. බිත්තිවල මල් ලියකම් ඇදීමට අවසර ලබාදී ඇති අතර - කාන්ත රූප ඇඳීම තහනම්කොට ඇත. අනතුරුව සම්පූර්ණ ගෘහයකට අවශ්‍ය සිවුරු රෙදි වනන වැලක්‌, ගෙය වටකොට කොටු පවුරක්‌ හා ඊට දොරක්‌ද අනුමත විය. බිම බොරලු දමා අලංකාර කළ අතර ගල් පුවරු දමා පිරිසිදු බව ආරක්‌ෂා කළේය. අලංකාරයට වඩා ආරක්‌ෂාව සඳහා කොටුව, හිඳිකඩ, දොර, තොරණ, රෝද කඩුල්ල ආදියද අවශ්‍යතා අනුව බලා බුදුරදුන් අනුමත කොට ඇත.

මේ අතර සේනිය බිම්බිසාර රජු විහාරයක්‌ කරවීමට අවශ්‍යවී කවර සෙවිල්ලක්‌ අනුමතදැයි විමසූ විට උළු සෙවිල්ල, ගල් පුවරු සෙවිල්ල, හුණු බදාම සෙවිල්ල, තණ සෙවිල්ල, කොළ සෙවිල්ල යන පස්‌ ආකාරයක්‌ අනුමත කළහ.

මේ අනුව සිවුපසට අයත් සේනාසන ප්‍රත්‍යයද විවිධ හේතු සාධක මූලික කොට ගෙන සංවර්ධනය වූ අවස්‌ථාවක්‌ පෙන්නුම් කෙරේ. භික්‌ෂු සාසනයේ අභිසංවර්ධනයට අවශ්‍ය අංගෝපාංග බොහොමයක්‌ සැදැහැවත් දායක පින්වතුන්ගේ පරිත්‍යාගයන්ය. දායක පක්‌ෂය හා පූජ්‍ය පක්‌ෂය අතර බැඳීම භික්‌ෂුන්ගේ පැවැත්ම හා ආධ්‍යාත්මික දියුණුව කෙරෙහිත්, දායකයන්ගේ දෙලොව සුබ සිද්ධිය සඳහාත් හේතුවන්නකි.

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.