සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

වාරණ



කොළඹ - නුවර ගමන් මගෙහි තිහාරිය මං සන්ධියෙහි ඕගොඩ‍පොළ - නිට්ටඹුව බස් රථය මොහොතක් නතර කර තිබිණි. කොළඹ සිට පැමිණි අපට ඕගොඩපොළට ධාවනය වන බස්රථය ඈත තියාම යාන්තමට දිස්විණි. අප පය ඉක්මන් කළේ එම බස්රථය අපට මග හැරේවි යැයි සිතුණු නිසාවෙනි. අපගේ ගමනේ අරමුණ වාරණ පන්සලට යෑමයි.
රටේ කා අතරත් “වාරණ බෞද්ධ සිද්ධස්ථානය” පූජනීයත්වයෙහිලා සැලකෙන බව අපි දැන සිටියෙමු. සැතපුම් කිහිපයක් නගරයෙන් එපිට පිහිටි මේ විහාරස්ථානය ඓතිහාසික වශයෙන් මෙන්ම සෞන්දර්යෙන්ද අනූන බව නියමිත බස්නැවතුමෙන් බට අපට හැගී ගියේය. මෙතැන් සිට “සන්නස” අපි සටහන් කරන්නේ ඒ සුන්දර වාරණ පිළිබද තතුයි.
අද ප්‍රදේශයක් හැදින්වෙන තරමට වාරණ ප්‍රසිද්ධ නමුත් ඒ නමින් ගමක් ප්‍රදේශයක් නැත්තේය. පිහිටි ග්‍රාමයේ නම මංගලතිරියයි. මුල්කාලයේ “මංගල විහාරය” ලෙස හැදින් වූ මේ පන්සල පසු කාලීනව වාරණලෙන ලෙස හැදින්විය. ඊට මුල් වූ ප්‍රවාදයන් කිහිපයක්ම ඇත. වාරණ පන්සල පිහිටි ප්‍රදේශය මංගලතිරිය ලෙස නම් වන්නට ඇත්තේ මෙහි මංගල තූර්යවාදනය පිණිස පැමිණියවුන් පිරිසක් මේ ප්‍රදේශයේම පදිංචි වූ නිසා යැයි සැලකේ.
වාරණ යනු හස්ති වාචක නාමයකි. බැලූ බලූ දිසාවෙන් පිහිටි ගල්කුලු නිසා මේ නම පට බැදෙන්නට ඇතැයි ගැමියෝ විශ්වාස කරති. එසේම අනෙක් ප්‍රවාද වන්නේ “වා” නැමැති ගස් බහුල වශයෙන් වූ අරණක් නිසා වා අරණ, වාරණ වූ බවයි.
තවත් ත්‍රාසය දනවන ජනප්‍රවාදයක් ඇති බව ප්‍රදේශවාසී “ඌෂාන්ත රේරෝෂණ” අපත් සමග පැවසීය. ඒ කතාව මෙසේය.
වාරණ පන්සලේ නායක ධූරය හෙබවූ දංගල්ලේ අත්තදස්සී නායක ස්වාමීන්ද්‍රයන් මෙහි වැඩසිටින යුගයේ ඉතා උසකින් හා පළලකින් යුත් ඉඩම්ගල ලෙස හැදින්වෙන ගලට විශාල පක්ෂියෙක් නිරන්තරයෙන් පැමිණීමට පුදුරුවී සිටියලු. ප්‍රවාද අනුව නම් මේ පක්ෂියා මේ රට පක්ෂියෙක් නොව ඉන්දියාවේ හිමාලයේ සිට එන්නෙකි. ඇත් කද ලිහිණි වර්ගයට අයත් වූ පක්ෂියෙක් නිසා වාරණ නමින් හදුන්වා ඇත. ඇත් කද ලිහිණි සාමාන්‍ය මසෙකු ඩැහැගත් දවසක “රිටි” නම් ප්‍රසිද්ධ ගසක සිටි සිය ඩැහැගත් ආහාරය ගනී. ප්‍රමාණයෙන් විශාල මසෙකු නම් මානිංගමගලට හෝ ඉඩම්ගලට ගොස් හිස පමණක් ආහාරයට ගනී. මේ තතු දැන ගත් සීතාවක රාජසිංහ රජු හිස පමණක් කා ඉවත දමන අනෙක් කොටස් එකතු කරවා ගැනීමට “මානියංගම” පවුල් කිහිපයක් යෙදවූවේය. “ගලබලනගේ” නමින් පෙළපත් නාමයක් හිමි පරම්පරාවට හිමිකම් කියන මිනිස්සු අදද මේ ප්‍රදේශයේ වාසය කරති.
මේ සා විශාල පක්ෂියා නිසා ප්‍රදේශ වාසීන්ට අතුරු ප්‍රශ්ණ ඇතිවන්නට විය. දරුණු හඩක් හිමි ඇත්කද ලිහිණියා රාත්‍රියේ නිරන්තරයෙන් කෑගසයි. ඒ හඩ මිනිසුන් බිය වද්දන සුළුය. තැන තැන දැමූ මත්ස්‍ය ආහාර කොටස් නිසා අවට දුර්ගන්ධ විය. වැනි වූ පීඩා නිසා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පක්ෂියා පැමිණෙන අවස්ථාවක වස් කවියක් තනවා කියන්නට වූහ.

රන්වන් තුඩින් ඉගි බිගි කරන ගෙල තුල
මන්සන් තොසින් කියනා දෙය අසව බොල
වංහුං දනිති ගෙදරක නම් මෙතට බොල
දැන් පිං පිණිස වෙන තැනකට යන්න පල
(වාරණ වරුණ පිටු 02)

වාරණ පුරාණ විහාරය ඉතා දිගු ඉතිහාසයකට වගකියන බව නැගෙනහිරින් වූ දිග් ගලෙහි වන සෙල්ලිපිය සාක්ෂි ලබාදෙයි. මේ සෙල් ලිපිය ක්‍රි. පූ. 6 වැනි සියවසට අයත්ය. සෙල් ලිපියේ තොරතුරු මේ ලිපිය මගින් දිගහරින්නට අපි අදහස් නොකරමු. මන්දයත් මිනිසුන් වන අපිට උපන්ගෙයිම කුතුහලය ඇත්තේය. ඔබගේ ශාස්ත්‍රීය හා දැනුම පෝෂණයෙහිලා එකී කුතුහලය නම් පෙළබීම් සාධකය “වාරණ විහාරයට පැමිණි විටෙක” භාවිතා කරත්වා යැයි අපි ඔබට ආරාධනා කරමු.
විහාරය මළු තුනකින් යුක්තය. පළමු මළුවට අපි පිවිසියේ ප්‍රදේශවාසියකු වන ඌෂාන්ත ද සමගිනි. ඔහු අපට වරින් වර විහාරස්ථානය ගැනත් අවට ප්‍රදේශය ගැනත් විස්තර සපයන්නට විය. එය අපට විහාරස්ථානයේ හා අවට පෙදෙසෙහි වටිනාකම් ගැන හදුනා ගැනීමට මහගු පිටිවහලක් විය. විහාරස්ථානයේ දකුණු පසින් දිස්වන්නේ මහා ගල් පර්වතයයි. එය ඉඩම් ගලය. ඉඩම් ගල අඩි 100 කට වඩා උසය. අක්කරයකට ආසන්න භූමි භාගයක් පුරා පැතිර පවතී. විහාරය තුන් පැත්තෙන්ම ලෙන්ය. නැගෙනහිරට වන්නට තවත් ගල්තලාවකි. එය දික් ගලයි. සෙල්ලිපිය කොටා ඇත්තේ මෙහිය. බටහිර වූ ලෙන තුල පැරණි සංඝාවාසය කඩා ඉවත් කොට අලුතින් කරවූ කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්ද අනුස්මරණ පිරිවෙන් ශිෂ්‍ය නිවාසය පිහිටා ඇත. උතුරට අඩක් ලෙන තුල පිහිටි විශාල තෙමහල් ධර්ම මන්දිරයයි. ධර්ම මන්දිරයේ මණ්ඩපයට ඉහළින් සදෙව්ලොව පිළිබදව වූ බිතු සිතුවම්වලින් නිමය. ලෙන තුළ කෝට්ටේ යුගයේ කරවූ වෙස්සන්තර කථා පුවත ඇතුළත් පැරණි සිතුවම්ය.
පහත මළුවේ ඉදිරියෙන් දිස්වන්නේ තෙරුවන් මැදුරයි. උඩු මහලෙහි ධාතු මන්දිරයක්, දෙවන මහලෙහි මංගිරි පිරිවෙන් පුස්තකාලයක් සහ කියවීම්ශාලාවක් ඇත.
දකුණු දෙසට තනි ගල් තලාවේ නෙලා ඇති දර්ශනීය පියගැට පෙළින් යුතු විහාර මගය. පඩි පෙළ දිගේ අප පඩි පෙළ 100 යක් පමණ පසුකර ගමන් කරත්ම පසෙකින් කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍ර ස්මාරකය හා පොකුණ දිස්වේ. කුලුණු යටින් මැද මළුවට පිවිසෙත්ම අප ඉදිරියෙන් වූයේ මහා විහාර මන්දිරයයි. කොටස් දෙකකින් යුක්ත මෙහි පළමු කොටසේ දහඅට රියන් වූ බුද්ධ ප්‍රතිමාවහන්සේ වැඩ සිටියි. එම කුටියේම වළගම්බා රජුගේ සිතුවමත් බිත්තියේ සිතුවම් කර ඇත. 
දෙවන කොටසේ සූවිසි විවරණ හා සත්සති ප්‍රතිමාද, විෂ්ණු දෙවිවරුද කරවා ඇති අතර උඩුගල් වියන පැරණි සිතුවම් රටාවලින් හැඩ කරනවා ඇත. විහාර මන්දිරයට උතුරින් සතර දේවාලයද එම ගල්ලෙන තුළම කරවා ඇත.
දකුණු දිශාව වන්නට ඇත්තේ ලෙන තුළ පිහිටි පැරණි චෛත්‍ය දක්නට ලැබේ. මෙය මේ විහාරස්ථානයේ පුරා විද්‍යාත්මක වශයෙන් දක්නට ලැබෙන වැදගත් සාධකයක් ලෙස අපේ මාර්ගෝපදේශකයා සදහන් කර සිටියේය. ඔහු සදහන් කළ ආකාරයට අනුව ලෙන්තුල කුඩා දාගැබ් ඉදිකිරිම් බුදුදහම ලක්දිවට පැමිණි මුල් යුගයේ කෙරුණු දෙයකි. එය පසු කාලෙක ඇති වූ චේතියඝරවලට එසේත් නැත්නම් චෛත්‍ය ගෘහයන්ට ආකෘති වූ බව පුරා විද්‍යාඥයින් පවා පිළිගන්නා කාරණයක් බව ඔහු තවදුරටත් සදහන් කර සිටියේය.
පහන්ගෙය අසලින් ඉහළට විහිදී යන පඩි පෙළ උඩුමළුවට මං විවර කරයි. එහිදී අන් පරිසරයන්ගෙන් වෙන්වූ උස් භූමිභාගයකට අවතීර්ණ වන බව අපට වටහාගත හැකි වූයේ ඝන වා රැළි අප ගත සොලවද්දීය. මළුවට පිවිසෙත්ම නැගෙනහිරින් සමනල පව්වත් බටහිර සිතිජයේ නිල මහා සයුරේ රේඛාවක් සටහන් ව ඇත. අවටින් ලොකු කුඩා ගිරි ශිඛරයන් තුරුලිය මතින් දිස්වේ. මළුවේ මැද බෝ සමිදුන් අතු පතර විහිදා පරිසරයටම සිහින් සප්ත ස්වරයක් මුදාහරී. දකුණින් දැඩිමුණ්ඩ දෙව්වරුය. ඉදිරියෙන් දැකුම්කළු මකර තොරණයි.
ඉන් ඉදිරියට ගිය අපට දැකගත හැකි වුයේ හිරු බැස යන බවට සන් කරන අහසේ සිත්තම් වූ රන්වන් මිශ්‍ර වූ වළා පෙළයි. මොහොතක් ඒ දෙස බලා සිටි අපට හැගී ගියේ පරිසරයට බද්ධ වූ මිනිස් ජීවිතයට පරිසරය කෙතරම් නම් සමාධි සුවයක් ගෙන එනවාද යන්නයි. සන්නසේ මීළග සංචාරය පිළිකුත්තුව විහාරය ආශ්‍රිතව ගෙන එන අදිටනින් මෙතෙක් දිගහැරි වාරණ සිරිය මෙතැනින් නිමා කරමු.
සටහන - රාජිත විජේසේකර

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.